ෆිලිපීන වැසියෝ තවත් දරුණු සුළි කුණාටුවකට සැරසෙති. විපත් සිදු වෙතැයි අපේක්ෂිත පෙදෙස් වෙතින් අද (09), 900,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත් බව රජය කියයි.
මැනිලා නාගරික කලාපය ඇතුළු ප්‍රදේශ රැසක සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
ෆන්ග් - වොඞ් (Fung-wong) නම් මෙවර සුළි කුණාටුව අද රාත්‍රී වන විට අවුරෝරා (Aurora) පළාතට පතිත වනු ඇතැයි, කාලගුණ අනාවැකි පල කර ඇත. කලාපය නොසන්සුන් කළ කල්මෙගී (Kalmaegi) දරුණු සුළි කුණාටුවේ බලපෑම පහව යාමටත් කලින්, මෙම තත්ත්වය උදා වීම, ෆිලිපීනයට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.
කලාපයේ වෙරළ තීරයට බෙහෙවින් බලපෑ කල්මෙගී සුළි කුණාටුවෙන් ෆිලිපීනයේ පුද්ගලයින් 224ක් සහ වියට්නාමයේ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම වෙරළ තීරවල නිවාස, වෙනත් දේපල ඇතුළු සියල්ල මුළුමනින් විනාශයට පත් විය.
පැයට සැතපුම් 115ක වේගයෙන් හමායන සුළං ප්‍රවාහ කැටිකරගත්, පැයට සැතපුම් 140ක ගැස්මෙන් යුත් ෆන්ග් - වොඞ් සුළි කුණාටුව, මේ වන විටත් ලුසොන් (Luzon) පළාත් බද ප්‍රදේශ රැසක් හරහා ධාරානිපාත වර්ෂාපතනයක් ද සමගින් හමා යන බව වාර්තා වේ.
ෆිලිපීනයේ ප්‍රදේශ රැසක දැඩි අන්තරායකර බවක් නිවේදනය කර තිබේ. අවසන් මොහොතේ ඉවත්කර ගැනීම් සිදු කෙරෙන තෙක් අපේක්ෂාවෙන් නොසිට, මේ මොහොතේම අන්තරායකර ප්‍රදේශ වෙතින් ඉවත් වන ලෙස මහජනතාවට දැනුම් දී තිබේ.
වසරේ, මේ තාක් ෆිලිපීනයට බලපෑ 21 වන සුළි කුණාටුව මෙය වේ. විපත් ප්‍රතිචාර සහ මානුෂීය ආධාර උදෙසා 2000කට අධික පුහුණු හමුදා භට පිරිසක් සීරුවෙන් තබා ඇත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/09/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
