Image

පල්ලේගම හේමරතන සම්බන්ධ නඩුව මාස පහක් ම කල් ගිහින්…?

පල්ලේගම හේමරතන සම්බන්ධ නඩුව මාස පහක් ම කල් ගිහින්…?

පහුගිය නඩු වාරෙදි වින්දිත දැරිය පෙන්වූ ආවාසගෙයි පාපිස්සේ ශුක්‍රාණු හේමරතන ගේ බව රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දැනුම් දීලා තියෙනවා. හැබැයි, ඊළඟ නඩු වාරේ තව මාස පහකින්. 2027 ජනවාරි 8 වෙනිදා

පොරොන්දුවලට මොකද වුණේ…?

ජාතික ජන බලවේගය ගැහැණු එක පෙළට තියාගෙන දීපු මැතිවරණ පොරොන්දු අතරේ කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ වලට සම්බන්ධ නඩු වලට මුල්තැන දීලා කඩිනමින් අහලා ඉවර කරන්න විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කිව්වා.

දරුවෝ සම්බන්ධ නඩු අහන්න විශේෂිත ඉහළ උසාවියක් ස්ථාපිත කරන්න පොරොන්දු වුනා.

දරැවන්ට එරෙහි හිංසන වාර්තා කරන්නත්, ඒ පැමිණිලි ගැන නැවත හොයා බලන්නත් කාර්යක්ෂම ක්‍රමවේදයක් පිහිටුවන්නත් පොරොන්දු වුණා.

ඒත් දැරිය ගේ ප්‍රකාශයෙන් සති ගාණක් යනකම් අත් අඩංගුවට ගත්තෙ නැති සැකකාරයෙක් ඉන්න නඩුවක් දිහා බලාගෙන මන්ත්‍රීවරියන් ගේ සංසදය 'පාර්ලිමේන්තු' වරප්‍රසාද ගැන කියවනවා ඇරෙන්න මේ පොරොන්දුවලට වෙච්ච දෙයක් නෑ.

සාක්ෂි තිබිය දී සැකකාර පල්ලේගම හේමරතනට ඇපලබා දෙමින්, නීතිය අතට අරන් සැකකාර පාර්ශවයට වාසි සහගත ලෙස කටයුතු කරන බව මේ හොඳින්ම පේන්න තියෙන නඩුවක්.

 

අධිකරණ නියෝගයෙන් අනතුරුව ද සැකකරු නවලෝකයේ

අප්‍රේල් 10 දැරිය ප්‍රකාශය ඉදිරිපත් කළාට සැකකාර හේමරතනව අත් අඩංගුවට ගන්නෙ මැයි 9. ඒ කාලය අතරතුර ළමාරක්ෂක අධිකාරියට කෙවිටක් අරන් පොලීසිය පස්සෙ පන්නන්න වුණා. නවලෝක රෝහල හිටිහැටියේ රෝහලක්, උසාවියක් සහ සිරමැදිරියක් කියන සියලු භූමිකා නිරූපණය කරන මැජික් ගොඩනැගිල්ලක් බවට පත් වුණා. මැයි 8 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂත්, සහකාර අධ්‍යක්ෂත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විමර්ශන ප්‍රමාදය ගැන සාක්ෂි ඉදිරිපත් කරලා, සැකකරුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකුත් සහ ගුවන් ගමන් තහනමකුත් ලබා ගන්නවා. මැයි 9 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නඩුවත් අරන් හේමරතන ඇඩ්මිට් වෙලා හිටිය නවලෝකෙට ගිහින් අත් අඩංගුවට ගන්න නියෝග නිකුත් කරනවා. ඒ නියෝගයට පස්සෙත් හේමරතන දිගටම ඉන්නෙ නවලෝකෙ. මැයි 13 කොළඹ කොටුව මහේස්ත්‍රාත් ආයෙ නවලෝකෙට ගිහින් හේමරතනව මැයි 22 දක්වා රිමාන්ඩ් භාරයේ තියන්නත්, ජාතික රෝහලට මාරු කරන්නත් නියෝග කරනවා.

 

නීතිපති දෙපාර්තමේන්තුව: අන්ධයි, ගොළුයි, බිහිරියි

මැයි 14 හේමරතනව ජාතික රෝහලට යවනවා. මැයි 15 අනුරාධපුර උසාවියෙන් හේමරත්නගෙ සෞඛ්‍ය තත්වයට අනුව උසාවි එන්න පුළුවන් ද බලන්න එයාගෙ අධිකරණ වෛද්‍ය වාර්තාව ගෙන්නනවා. මැයි 21 පස්වරුවේ සැකකාර හේමරතනව බන්ධනාගාර රෝහලට මාරු කරනවා. මැයි 22 උදේ හේමරතනව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතීඥවරු 20කට වැඩි පිරිසක් එක්ක කහ සිවුරු ඇඳගත්ත බෞද්ධ භික්ෂූන් ගොඩක් හේමරතන වෙනුවෙන් උසාවියට එනවා. නීතිපති දෙපාර්තමේන්තුව දැරිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කාවවත් උසාවි එවන්නෙ නෑ. දැරිය වෙනුවෙන් නීතිඥවරු තිදෙනෙකුත්, රජය වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්, පොලීසියත් ඉදිරිපත් වෙනවා. පැමිණිල්ලට අදාළ විමර්ශන අවසන් බවත්, වාර්තා නීතිපති උපදෙස් වලට යොමු කරලා තියෙන බවත් පොලීසිය උසාවියට දන්වනවා.

 

බන්ධනාගාර රෝහලේ දවස් බාගය යි

මේ වෙද්දිත් DNA පරීක්ෂාවක් වෙනුවෙන් රුධිර සාම්පල සංසන්දනය කිරීමක් කරලා තිබුණේ නෑ. දුරකථන වාර්තා විමර්ශනය කරලා තිබුනේ නෑ. ඒත් පොලීසිය විමර්ශන අවසන් බව තීරණය කරලා තිබුණා. චූදිතයාට එල්ල වී ඇති මිනිස් ජාවාරම් චෝදනා ගැන අවධානය යොමු කරන ලෙසත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් වින්දිත දැරිය වෙනුවෙන් පෙනී ඉන්න ලෙසත් ළමාරක්ෂක අධිකාරිය උසාවියෙන් ඉල්ලා සිටියා. සැකකාර පල්ලේගම හේමරතන බන්ධනාගාර රෝහලේ දවස් බාගයක් ගත කරලා ඇප මත අටමස්ථානයට ගියා. ජූනි 5 - පාරිලිමේන්තු මන්ත්‍රිනී සංසදය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා ළමාරක්ෂක අධිකාරියේ මැදිහත් වීම පාලනය කලා. අනුරාධපුර උසාවිය ගැන විතරක් නැතුව අත්තනගල්ල සහ උසාවි වල නඩුත් නිරීක්ෂණය කරන්න කියලා මන්ත්‍රීවරියො අණ කරලා තිබ්බා.

 

ගැහැනු එක පෙළට තියාගෙන, දරුවන්ගෙ ඇඟිලි අල්ලගෙන දීපු පොරොන්දු…?

ජූනි 14 - DNA පරීක්ෂාව සඳහා ලේ සාම්පල ලබා දෙන්න සැකකරුට අධිකරණය නියෝග කළා. අගෝස්තු 21 - සැකකාර හේමරතන ශුක්‍රාණු පිස දැමූ බව කියන පාපිස්ස පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා ගේ අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා. හේමරතන ගේ ශුක්‍රාණු අංශුත්, තවත් කාන්තාවකට අයත් හිසකෙසුත් ඊට ගැළපී තිබුණා.

දැන් නඩුව තව මාස 5කින් කල් ගිහින්.

මේ සිදුවීම නිසා ඇණහිටලා තියෙන දැරියගේ අධ්‍යාපනය තවත් මාස 5කට කඩාකප්පල් වෙලා. පුංචි දරුවෙක්ට අත්දකින්න තියා හිතන්නවත් නරක අත්දැකීමකට මුහුණ දීපු දැරියට අවිනිශ්චිතතාවයෙන් තවත් මාස 5ක් ගත කරන්න වෙලා. දන්න කියන, පවුලේ අයගෙන් වෙන්වෙලා නාඳුනන තැනක, නුපුරුදු බව, මානසික පීඩනය තවත් මාස 5ක් දරාගන්න වෙලා. අවශ්‍යයි නම්, විශාල ආගමික සමාජ බලයක් තියෙන සැකරුටත් ඔහුට සහය වන පිරිසටත් වින්දිතයගේ පවුලේ අයට යම් බලපෑමක් කරන්න මේ කාලය ප්‍රමාණවත්. ගැහැනු එක පෙළට තියාගෙන, දරුවන්ගෙ ඇඟිලි අල්ලගෙන දීපු පොරොන්දු ඉටු කරන්න මේ නඩුවෙන් පටන් ගන්න ආණ්ඩුවට තාම පුළුවන්, නැත්නම් වරප්‍රසාද වලින් පිම්බිලා වරප්‍රසාද නිසාම පුපුරලා, විනාශ වෙලා යන්නත් පුළුවන්.

NOTE830(ජාතික ජන බලවේගයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවුන ප්‍රතිපත්ති ප්‍රකාශයේ දරුවන්ගේ සහ ගැහැනුන්ට යුක්තිය ඉටු කිරීම ගැන දීපු පොරොන්දු සහ පිටු අංක)

අඩුවෙන් බලන්න

 

WhatsApp Image 2026 08 30 at 3.19.10 AM

 

 

 

 සටහන : Shyama Basnayake

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න