Image

ජවිපෙ/ ජාජබ තම ගමන වෙනුවෙන් සියලු දෙනා ම භාවිත කරනවා ද…?

ජවිපෙ/ ජාජබ තම ගමන වෙනුවෙන් සියලු දෙනා ම භාවිත කරනවා ද…?

ලෙනින්ගේ “දයලෙක්‌තිකය පිළිබඳ ගැටලුව ගැන” (On the Question of Dialectics) කියන කටු සටහනේ මෙහෙම සඳහන් වෙනවා.

"තනි සමස්තයක් කොටස්වලට බෙදී යෑම සහ එහි පරස්පර විරෝධී කොටස් හඳුනා ගැනීම යනු දයලෙක්තිකයේ සාරය යි. එසේත් නැතහොත් එහි ඇති මූලිකම අවශ්‍යතාවලින් එකකි; ප්‍රධානතම ලක්ෂණය නොවන්නේ නම් ප්‍රධානත ම ලක්ෂණවලින් එකකි."

උදාහරණයක් විදිහට ගත්තොත්, ලංකාව දැන් දේශපාලනිකව අලුත් වෙනසකට ඇතුළු වෙලා තියෙන්නේ. මේ වෙනස දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් වගේම, ඒකට එක එක විදිහේ අර්ථකථන දෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ දවස්වල දේශපාලන භූමියේ සිද්ධ වෙන දේවල් දිහා නිකමට බැලුවොත්, පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා.පහුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වුණා මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ ජන බලයේ විදර්ශන අතර තිබුණු you tube සාකච්චාවේ දී ජේ.වී.පී (JVP) එක සම්බන්ධයෙන් දක්වපු යම්කිසි විවාදසම්පන්න ප්‍රකාශයක් ගැන.

ඒ වගේම, කලින් කොළඹ කේන්ද්‍ර කරගෙන ජාතික ජන බලවේගය (NPP) වටා එකතු වෙලා හිටපු මධ්‍යම පාන්තික බුද්ධිමතුන් සහ ලේඛකයන් දැන් ජේ.වී.පී එක සහ එන්.පී.පී එක ක්‍රියා කරන විදිහ ගැන තමන්ගේ තියෙන අතෘප්තිය සහ කලකිරීම කිසිම හැංගිහොරා නැතිව විවෘතවම ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා.

 

දේශපාලන භූමියේ දකින්න ලැබෙන අලුත්ම සංසිද්ධියක් ද…?

maheshhapugodawi818මහේෂ් හපුගොඩ

අනිත් පැත්තෙන් බැලුවොත්, මැතිවරණයට කලින් තිබුණු ප්‍රචාරක සටනේ දී ජේ.වී.පී එකට, එන්.පී.පී එකට වගේම අර බුද්ධිමතුන්ට එරෙහිවත් දැඩි ලෙස සටන් වැදුණු දීප්ති කුමාර ගුණරත්න, මහේෂ් හපුගොඩ යන අයත් දැන් රාජ්‍ය මාධ්‍ය ඉස්සරහට එන්න පටන් අරන් තියෙනවා. (රසික ජයකොඩි කියන්නේ සෘජු විරුද්ධවාදියෙක් ම නෙවෙයි වෙන්න පුළුවන්, හැබැයි මේ හැමෝම දැන් මාධ්‍ය අවකාශය අත්පත් කරගනිමින් ඉන්නවා). ඉතින් මේක ලංකාවේ දේශපාලන භූමියේ දකින්න ලැබෙන අලුත්ම සංසිද්ධියක්. මේ අලුත් දේශපාලන යථාර්ථය ඇතුළේ මොකක්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව, ගොඩක් අය තමන්ගේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ලොකු වියවුල් සහගත බවක් සහ පටලැවිල්ලක් පෙන්නුම් කරනවා.

 

අවසානයක් නොමැති භාවිත කිරීමේ ක්‍රියාවලිය

ඇත්තටම බැලුවොත්, දේවල්වල මතුපිට පෙනුම (දෘශ්‍යමානය) සහ බල සබඳතා දිහා විතරක් බලලා මතුපිටින් විතරක් කල්පනා කරන අයට අර කියපු වියවුල් සහගත බව ඇතිවීම ඉතාම සාධාරණයි. මොකද සමාජයේ සිද්ධ වෙන මේ දේශපාලන වර්ධන වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඔවුන්ට බැහැ. නමුත් ලංකාවේ දේශපාලනයේ තියෙන බුද්ධිමය ප්‍රතිරෝධතා සහ විවිධ කණ්ඩායම් අතර ගැටුම් දිහා ගැඹුරින් බැලුවොත්, මේක එක පැත්තකින් 'ජේ.වී.පී එක තමන්ගේ ගමන වෙනුවෙන් හැමෝවම පාවිච්චි කරමින් ඉන්නවා' කියන වර්ගීකරණයට වුණත් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන් කලින් එන්.පී.පී (NPP) බුද්ධිමතුන්ව සහ ප්‍රගතිශීලින් ලෙස නම් කල හැකි නිර්මාල්, විදර්ශන වංගිස වැනි අයවත් පාවිච්චි කළා වගේම, දැන් දීප්ති කුමාරලා වැනි විවේචකයින්ව වුණත් තමන්ගේ දේශපාලන අවකාශය හැඩගස්වා ගන්න පාවිච්චි කරනවා. මේක හරියට ඉවරයක් නැති පාවිච්චි කිරීමේ ක්‍රියාවලියක් වගෙයි ඉතිහාසය දිහා බලද්දී. හැබැයි ජේ.වී.පී එකේ ව්‍යාපෘතිය ඇතුළේ තවමත් දකින්න ලැබෙන අභ්‍යන්තර තොරතුරු සහ ඔවුන්ගේ හැසිරීම් ඔක්කොම විශ්ලේෂණය කරලා බැලුවාම, වික්ටර් අයිවන් වරක් ජේ.වී.පී එක සහ එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය සසඳමින් කියපු කතාවක් මතකයට එනවා. ඔහු කිව්වේ මේ ව්‍යාපාර දෙකම 'මරන්නත් බය නැති, මැරෙන්නත් බය නැති' ව්‍යාපාර බවයි. ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය ඇතුළේ පුද්ගලයින් හැටියට මිනිස්සු කොච්චර ආත්මවාදයට (Subjectivism/Ego) ලක්වෙලා තිබුණත්, සමාජ ව්‍යාපාරයක් හැටියට 'ආත්ම-කේන්ද්‍රීයත්වයට' (Self-centeredness) අඩුම වශයෙන් ගොදුරු වෙලා තියෙන ව්‍යාපාරය තමයි ජේ.වී.පී එක. මොකද මේ ව්‍යාපාරයේ ඇත්තම ජවය, යාන්ත්‍රණය සහ ශක්තිය රැඳිලා තියෙන්නේ තනි පුද්ගලයන්ගේ ආත්මවාදය මත නෙවෙයි. ඔවුන් සතු සාමූහික ක්‍රියාවලිය, සංවිධාන සංස්කෘතිය සහ වසර ගණනාවක් තිස්සේ ප්‍රගුණ කළ දේශපාලන පුහුණුව මතයි.

 

ජවිපෙ/ ජාජබ ඉදිරියේ පවත්නා දැවැන්ත ම අභියෝගය

mayrallinpp

ඇත්තට ම බැලුවොත්, ජේ.වී.පී එක ඇතුළේ තනි තනි පුද්ගලයින්ගේ පෞද්ගලික අනන්‍යතාවලට වඩා හැම තිස්සෙම මුල්තැන ලැබෙන්නේ සංවිධානාත්මක ක්‍රියාවලියටයි. "නමක් ගමක් නැති සොල්දාදුවෙක් වගේ" පක්ෂය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් පිරිසක් ඒක ඇතුළේ ඉන්නවා. හැබැයි බාහිර සමාජීය ලෝකය සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ පුද්ගල ප්‍රතිරූප සහ තනි තනි චරිත මත නිසා, මේ ක්‍රම දෙක ගැටෙන තැන පොඩි ව්‍යාකූලතාවක් මතුපිටට පේන්න තියෙනවා. ඒ වගේම පුද්ගලික කේන්තිය, තමන්ගේ මනාප අමනාපකම් හෝ හැඟීම්බර දේවල් මුල් කරගෙන කරන දේශපාලන විග්‍රහ වැරදෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. මොකද ඉස්සර එකිනෙකාට විරුද්ධව සටන් වැදුණු අය පවා දැන් තමන්ගේ භූමිකා සම්පූර්ණයෙන්ම මාරු කරගෙන තියෙන නිසා, මේ දේශපාලන තත්ත්වය දිහා නියම විද්‍යාත්මක සහ දයලෙක්ටික ප්‍රවේශයකින් විතරක් බැලීමයි වැදගත් වෙන්නේ. අනෙක් පැත්තෙන්, ජේ.වී.පී එකේ විරුද්ධවාදීන් හැමවෙලේම උත්සාහ කරන්නේ ඔවුන් අතීතයේ කරපු කියපු දේවල් සහ පරණ වාර්තාවන් අල්ලාගෙන ඔවුන්ව අතීතයේ ම සිරකරලා තියන්නයි. විජේවීර වාදය ගැන දීප්ති සහෝදරයා ගේ පටු කියවීම වගේ. හැබැයි ජේ.වී.පී එක තමන්ගේ සාධාරණත්වය හොයන්න අතීතය පස්සේ දුවන්නේ නැතිව, තමන්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ අනාගත වර්ධනය ඉලක්ක කරගෙන ඉතාම උපායමාර්ගිකව ඉස්සරහට යනවා. ඒ නිසා සමාජයේ පහළම පන්තියේ මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිය, පන්තිමය සහ සංස්කෘතිකමය ප්‍රතිරෝධතාවලට ඇත්තටම ගැළපෙන, සාධාරණ පිළිතුරක් දෙන එක තමයි ජේ.වී.පී එක ඉස්සරහ තියෙන ලොකුම අභියෝගය වෙන්නේ. සමාජයෙන් එන මෙන්න මේ විරෝධතා සහ බලපෑම් ඔවුන් ඉදිරියට කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණය මත තමයි ඔවුන්ගේ ඉදිරි දේශපාලන ගමන තීරණය වෙන්නේ.

 

438039643 1490438038219367 3811601817128584883 n 2

 

 

 

සටහන -   Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න