තිළිනා වීරසිංහ ගේ කුඩා ග්‍රන්ථ කිහිපයට නිසි අවධානයක් ලැබුණේ දැයි සැක සහිතය. මා ලියූ "සියාමා" පොත හදිසියේ වැඩි වියට පත් දැරියක ගේ සහ ඒ දැරිය දෙමාපියන් නොමැතිව ලෝකයට තරුණියක සේ මුහුණ පානා ආකාරය පිළිබඳ සටහනකි . තිළිණා ගේ පොත් කියවද්දී මට සිතුණේ අප දෙදෙනා ම එක හා සමාන ලෙස මේ ස්ත්‍රී අපයෝජනය, වධ හිංසා සහ අසාධාරණ හංවඩු ගැසීම් එකසේ හෙලා දකින බවයි.

ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ මහා ප්‍රවාහය සමග සම්බන්ධ කිරීම මා කරන්නේ මිනිස් ජීවිතයේ පොදු අත්දැකීම්, විශේෂයෙන් ම කාන්තාවන් ගේ අරගල, හදවත් බිඳීම් සහ ඔරොත්තු දීමේ හැකියාව, කෙතරම් ගැඹුරින් එකිනෙකට බැඳී ඇත්දැයි වටහා ගැනීමට එය කදිම පිවිසුමක් නිසා ය.
ලෝක සාහිත්‍ය නිර්මාණ සමග තේමාත්මක මුසුවීමක්
කාන්තාවන් ගේ අවදානම, පෙම්වතුන්ගේ පාවාදීම් සහ තමාගේම පෞද්ගලික විවාහ ජීවිතයේ කටුක අත්දැකීම් පිළිබඳව ඉතා අව්‍යාජ ලෙස ලියමින්, ශ්‍රී ලාංකීය ලේඛිකා තිළිණා වීරසිංහ සහෝදරිය ගමන් කරන්නේ ඉතිහාසයේ ලොව සුප්‍රකට ස්ත්‍රීවාදී සහ යථාර්ථවාදී ලේඛිකාවන් විසින් සොයා මග හෙළි පෙහෙළි කළ මාවතක ය.
ඇයගේ කෘති තුන හරහා දිවෙන තේමාත්මක සබඳතාවන් ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති සමග අලංකාර ලෙස මුසුවේ.
ඇනා අක්මාටෝවා (Anna Akhmatova)
මට මුලින් මතක් වුණේ සෝවියට් දේශයේ සිටි ශ්‍රේෂ්ඨ කිවිඳියක වන ඇනා අක්මාටෝවා පිළිබඳව ය. සිල්වියා ප්ලැත් හරහා පුරුෂාධිපත්‍යය හමුවේ කාන්තාවක ගේ අභ්‍යන්තර මානසික ලෝකයේ සිදුවන යුද්ධය නිරූපණය වන්නේ නම්, ඇනා අක්මාටෝවා හරහා නිරූපණය වන්නේ පක්ෂ නොවන ඇතැමුන් ඇතැම් විටෙක කුරිරු ලෙසින් හඳුන්වන ලද පාලනයක් හමුවේ සමස්ත කාන්තා ප්‍රජාවම මුහුණ දෙන දේශපාලනික සහ පොදු සමාජයීය ඛේදවාචකය යි.
කාව්‍යාත්මක භාෂා විලාසයක්
තිළිණා ඇතැම් විටක කතා රචනා කරන්නේ කාව්‍යයක් විලසින් ය. සමහර විට කාව්‍යමය නොවන සංවාද ලෙසිනි . මේ මිශ්‍ර ආකාරය සමහර විට කියවන්නාට හිසරදයක්ද වේ. එනිසා ඔබ තිළිණා ගේ පොත් කියවිය යුත්තේ ඉවසිල්ලෙන් ය.

අක්මාටෝවා ගේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණය වන රෙක්වියම් (මළවුන් වෙනුවෙන් ගයන ගීය) සහ තිළිණා වීරසිංහයන් ගේ කෘතීන්, විශේෂයෙන් ම ''නාඳුනන ගැහැනිය'' සහ පෞද්ගලික ජීවිතයේ කටුක බව කතා කරන ''මධුසමය අහිමි මංගල්‍යය'' අතර , ගැඹුරු තේමාත්මක සමානකමක් පවතී. උදාහරණයකට සිරගෙදර පෝලිමේ සිටි "නාඳුනන ගැහැනිය" ගන්න. අක්මාටෝවා ගේ රෙක්වියම් කාව්‍යයේ ප්‍රස්තාවනාව කියවන විට එය හරියටම නාඳුනන ගැහැනිය යන තේමාවේ ලෝක සාහිත්‍යමය පූර්වාදර්ශයක් බඳු ය.

සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝසෆ් ස්ටාලින් ගේ කාලයේ වරදවා රජයට විරුද්ධ යයි සිතූ බුද්ධිමතුන්, නිදහස් ලේඛකයින් ආදීන් කෙරෙහි කිසියම් මර්දනයක් දියත් වුණි. මෙම මර්දන සමයේ දී අක්මාටෝවා ගේ එක ම පුත්‍රයාව අත්අඩංගුවට ගත්තේ ය. ඔහුව දැක ගැනීමට හෝ කෑම ටිකක් දීමට ඇය මාස දාහතක් තිස්සේ ලෙනින්ග්‍රෑඩ් සිරගෙදර ඉදිරිපිට අධික සීතලේ දිගු පෝලිම්වල බලා සිටියා ය. දිනක්, සීතල නිසා තොල් නිල් පැහැ ගැන්වුණු තවත් එක් නන්නාදුනන කාන්තාවක් ඇයව හඳුනාගෙන, ඇය අසලට පැමිණ: "ඔබට පුළුවන්ද මේ වේදනාව විස්තර කරන්න?" යන්න රහසින් ඇසුවා ය. අක්මාටෝවා ඊට පිළිතුරු දුන්නේ, "ඔව්... මට පුළුවන්" යනුවෙනි.

ඒ මොහොතේ දී අක්මාටෝවා, එම සිරගෙදර පෝලිමේ සිටි දහස් සංඛ්‍යාත, නමක් ගමක් නැති "නාඳුනන කාන්තාවන් ගේ" පොදු හඬ බවට පත් වූවා ය. අක්මාටෝවා ගේ කාව්‍යයෙන් තර්ක කරන්නේ රජයක් හෝ සමාජය විසින් කාන්තාවක ගේ දරුවකු, සැමියකු හෝ ඇගේ ජීවනෝපාය උදුරා ගත් විට ඇගේ පෞද්ගලික අනන්‍යතාව අහිමි වන බවයි. ඇය පොදු වේදනාවකින් බැඳුණු, ජනකායක් අතර සිටින තවත් එක් නොපෙනෙන මුහුණක් පමණක් බවට පත්වෙයි.

තිළිණා ගේ ''නාඳුනන ගැහැනිය'' කෘතියේ "මෙතන ඉන්න කවුරු හරි මේ ගෑනිව අඳුනනවද?" යනුවෙන් ජේෂ්ඨ හමුදා නිලධරයා ප්‍රශ්න කරයි . කිවකුත් පිළිතුරු දුන්නේ නැත. සිරුර වැඩිපුර කළුපාට නිසා දෙමළ ගැහැනියක් විය යුතු ය. නාසයෙහි කුඩා කරාබුවක් ඉතිරිව තිබුණි. මෙය වර්ණවාදී කතාවකි. උතුරේ සුදු පාට ගැහැනු ද සිටිති. නමුත් මෙහි දී තිළිණා සමාජීය යථාර්ථය ඒ අයුරින් ම මුහුණට දමා ගසයි. නාඳුනන ගැහැනිය අතවරයට පත් එකියක් විය හැකි ය. අක්මටෝවා ගේ මෙන් සැමියා හිරේ, පුතා විමුක්ති කොටි පැහැරගෙන විය හැකි ය. නැත්නම් පුතා ආණ්ඩුවේ හිර ගෙදර සිටිය දී, සැමියා අතුරුදන් වූවා විය හැකි ය. තිළිණා මේ සමාජ ඛේදවාචකය තම කෙටි කතාවෙන් උස්සා පොළොවේ ගසන්නී ය.
පෞද්ගලික අත්දැකීම් තුළින් සමබර සාහිත්‍යකරණයක
තිළිණා වීරසිංහ ගේ කෘතිවල දුප්පත් මෙන්ම ධනවත් කාන්තාවන් ද, පිරිමින්ගේ කුරිරුකම් හෝ අත්හැර දැමීම් නිසා පීඩාවට පත්වන ආකාරය ද පන්ති භේදය අභිභවා ගිය පොදු වේදනාව ද මැනැවින් සටහන්වේ.
රෙක්වියම් කාව්‍යය තුළින් ද සිදු කරන්නේ ඒ හා සමාන දෙයකි. එහි දී අක්මාටෝවා තමා ගැන ලියන්නේ ලෝක ප්‍රසිද්ධ, ප්‍රභූ ලේඛිකාවක ලෙස නොව, සාමාන්‍ය මවක ලෙසිනි. ඇය ගොවි කාන්තාවන් ගේ, සොල්දාදුවන් ගේ, බිරින්දෑවරුන් ගේ සහ ඉහළ පන්තිවල කාන්තාවන් ගේ හඬවල් එකට මුසු කරන්නී ය. මහා ඛේදවාචකයක් හමුවේ ඔවුන්ගේ සමාජ තත්ත්වය හෝ ධනය සම්පූර්ණයෙන්ම දියවී යයි. පුරුෂාධිපත්‍යය හෝ ඒකාධිපති පාලනය කාන්තාවක ගේ ධනවත්කම දෙස බලන්නේ නැත; වේදනාව පැමිණි විට එය හැමෝට ම එක හා සමානව දැනේ.
රෙක්වියම් කාව්‍යය තුළ නිවස යනු තවදුරටත් ආරක්ෂිත නවාතැනක් නොවේ. එය මධ්‍යම රාත්‍රියේ රහස් පොලිසිය දොරට තට්ටු කරන භීෂණයේ ස්ථානයකි. ජීවිතයේ සාමාන්‍ය සන්ධිස්ථාන (විවාහ උත්සව, මධුසමය හෝ සාමකාමී පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහ) තමන්ට පාලනය කළ නොහැකි බාහිර බලවේග විසින් උදුරා ගනු ලැබූ විට කාන්තාවක පත්වන අන්ත අසරණභාවය ඇය විස්තර කරන්නී ය.
ප්ලැත් සහ අක්මාටෝවා යන ලේඛිකාවන් දෙදෙනා ම වීරසිංහ ගේ තේමාවලට සමීප වුව ද, ඔවුන් ඒ දෙස බලන්නේ එකිනෙකට වෙනස් කෝණවලිනි. සිල්වියා ප්ලැත් බලන්නී අභ්‍යන්තරය දෙස ය. ඇගේ කාව්‍ය පවුල් ජීවිතයේ හුස්ම හිරකරවනසුලු ස්වභාවය සහ පෞද්ගලික මානසික පීඩනය නිසා ඇතුළාන්තයෙන් සිදුවන පිපිරීමක් බඳු ය. ඇනා අක්මාටෝවා බලන්නී බාහිර සමාජය දෙස ය. ඇගේ කාව්‍ය ඉතිහාසයේ සාක්ෂිකරුවකු බඳු ය. ඇය තම පෞද්ගලික දිනපොත පීඩාවට පත් මිලියන සංඛ්‍යාත කාන්තාවන් වෙනුවෙන් ඉදි කළ ස්මාරකයක් බවට පත් කළා ය.
තිළිණා වීරසිංහයන් තම පෞද්ගලික ජීවිතයෙන් උපුටා ගනිමින් කෘති රචනා කිරීමේ දී මේ දෙඅංශය ම මනාව සමබර කරන්නී ය. ඇය තුළ ප්ලැත් සතු වූ අභ්‍යන්තර, අව්‍යාජ නිර්භීතකම පවතින අතර ම, ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය දෙස තම පෑන මෙහෙයවීම හරහා ඇය අක්මාටෝවා මෙන් තම සමාජයේ සහෝදරියන් වෙනුවෙන් සාක්ෂි දරන්නියක බවට ද පත්වන්නී ය.
තිලිනා වීරසිංහ
රටවල් දෙකක හෝ කිහිපයක එකම සිද්ධිය වෙනස් ආකාරයෙන් සිදුවන්නේ කෙසේද?
"නාඳුනන ගැහැනිය" පොතේ "පෙම්වතියකගේ රාත්‍රිය" යනාදි කතාවලින් පෙන්නුම් කරන්නේ ස්ත්‍රී අනන්‍යතාව විශ්වීය ලෙස අකාමකා දැමීමකි. විවිධ සමාජ පන්තිවල කාන්තාවන් පිරිමින් අතින් පීඩාවට පත්වීම සහ ආදරවන්තයින් විසින් ඔවුන්ව පහසුවෙන් ම අත්හැර දැමීම පිළිබඳව මෙම කෘතියෙන් කෙරෙන විග්‍රහය, ගෝලීය ස්ත්‍රීවාදී සාහිත්‍යයේ ප්‍රධාන තේමාවක් මනාව පිළිබිඹු කරයි. එනම්, සමාජය, කාන්තාවක ගේ ස්වාධීනත්වය උදුරා ගැනීම හරහා ඇයව "නාඳුනන" හෝ නොපෙනෙන කෙනකු බවට පත් කරන්නේ කෙසේ ද යන්න යි. මෙය ප්‍රකට ලේඛිකා වර්ජිනියා වුල්ෆ් ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන "ඉතිහාසයේ බොහෝ කාලයක් පුරා 'නිර්නාමික' වූයේ ගැහැනියකි" යන්න දැඩි ලෙස සිහිපත් කරයි.
මම තිළිණා ගේ පළමු පොත පිළිබඳ කළ සටහනේ දී මා, නොබෙල් ත්‍යාගලාභී නදින් ගෝර්ඩිමර් ගේ පොතක් උපමාවකට ගැනීම තිළිණා ගේ සිතට ඇල්ලුවේ නැත. ඇයව තවත් ලේඛිකාවකට සංසන්දනය කිරීම ගැන කැමැත්තක් නැති බව ඇය මට කීවා ය. මා කළේ සංසන්දනය කිරීමක් නොව නදින් ගේ පොත් ඇසුරින් තිළිනා ගේ පොත විස්තර කිරීම ය. රටවල් දෙකක හෝ කිහිපයක එකම සිද්ධිය වෙනස් ආකාරයෙන් සිදුවන්නේ කෙසේ ද? ඒ මිනිස් ස්වභාවය ද?

තෝමස් හාඩිගේ ගේ සම්භාව්‍ය නවකතාවක් වන Tess of the d'Urbervilles "දර්බවිල් හි ටෙස්" කෘතිය මේ සඳහා කදිම උදාහරණයකි. "නාඳුනන ගැහැනිය" කෘතියේ සහ "සමනල මරණය" කෘතියේ චරිත එක හා සමාන නොවුනත්, ටෙස් යනු ධනවත් මිනිසෙකු ගේ අතවරයට ලක්වන, පසුව සමාජයේ පවතින ද්විත්ව ප්‍රමිති නිසා තමා සැබවින් ම ආදරය කළ මිනිසා විසින් ම අත්හැර දමනු ලබන දුප්පත් ගැමි යුවතියකි. ඓතිහාසික එංගලන්තයේ හෝ වේවා, වත්මන් ශ්‍රී ලංකාවේ හෝ වේවා, සාහිත්‍යය නිරන්තරයෙන් මෙම හද කම්පා කරවන යථාර්ථය ප්‍රතිසංස්කරණය කරයි. කාන්තාවන්ට පද්ධතිමය හෝ ආර්ථික බලයක් නොමැති වූ විට, ඔවුන් බොහෝ විට පිරිමින් ගේ තාවකාලික අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය කර ඉවතලන වස්තු බවට පත්වන අතර, ඔවුන් ගේ පෞද්ගලික අනන්‍යතාව පිරිමින් විසින් අකාමකා දමනු ලැබේ. ඇය ගේ ප්‍රථම ග්‍රන්ථය මෙයට නිදසුනකි.

"සමනල මරණය" බලාපොරොත්තුවල බිඳෙනසුලු බව සහ බිඳුණු පොරොන්දුවල කුරිරුකම ද යුද්ධය විසින් ජාතීන් කිහිපයකට උරුම කළ දුක කන්දරාව ද කැටිකර පෙන්වයි. මෙම කෘතියේ නම ම ගැඹුරු කාව්‍යමය මෙන්ම ඛේදජනක ස්වරූපයක් ගනී. සමනලයකු යනු සුන්දරත්වය, පරිවර්තනය සහ නිදහසේ විශ්වීය සංකේතයකි. නමුත් උන් අතිශයින් ම බිඳෙනසුලු ය. එවැනි සමනලයකුට "මරණයක්" අත්කර දීමෙන් සංකේතවත් කරන්නේ රළු පීතෘමූලික, පුරුෂාධිපත්‍යය සහිත ලෝකයක් විසින් කාන්තාවක ගේ ජීව ගුණය, සිහින හෝ ජීවිතය කුඩුපට්ටම් කර දමනු ලබන ආකාරය යි. "වැන්දඹුවකගේ සංවාදය" සහ "රාජේශ්වරී මෙනෙවිය" ඒ සඳහා නිදසුන් ය.
තවත් කැපී පෙනෙන සමාන්තරයක් වන්නේ හෙන්රික් ඉබ්සන්ගේ A Doll's House (බෝනික්කා ගේ ගෙදර) නාට්‍යයයි. එහි ප්‍රධාන චරිතය වන නෝරා , ඇගේ සැමියා විසින් සලකනු ලබන්නේ කූඩුවක සිටින බිඳෙනසුලු "කුරුල්ලකු" හෝ "සමනලයකු" ලෙසිනි. තමා ගේ මුළු විවාහ ජීවිතය ම සැමියාගේ පාලනය මත ගොඩනැගුණු මායාවක් බව ඇය වටහා ගත් විට, ඇයට සැබෑ, ස්වාධීන මිනිසකු ලෙස ලෝකයට පිය නැගීමට නම්, ඇය තුළ සිටි ඒ "සමනල" ස්වරූපය මිය යෑමට හැරිය යුතු විය. සමනල මරණය කෘතිය ද, යථාර්ථයේ කුරිරුකම හමුවේ කාන්තාවක ගේ අහිංසකත්වය සහ බලාපොරොත්තු බිඳ වැටෙන ඒ වේදනාකාරී සංක්‍රාන්තිය මනාව ග්‍රහණය කර ගනී.
රොමැන්ටික් මිථ්‍යාව බිඳ දමා කටුක සත්‍ය නිරාවරණය
වීරසිංහයන් ගේ මධුසමය අහිමි මංගල්‍යය කෘතියෙන් විවාහයක ඇති සුන්දර මිථ්‍යාව බිඳ දමා කටුක යථාර්ථය නිරූපණය කරන්නා සේ ම, අක්මාටෝවා ද පවුල් ජීවිතය පිළිබඳ පවතින සාම්ප්‍රදායික රොමැන්ටික් ආකල්පය ගලවා දමයි.

මධුසමය අහිමි මංගල්‍යය (A Marriage Without a Honeymoon) ස්වයං-චරිතාපදානයක් නම් එය සත්‍යය ප්‍රකාශ කිරීමේ අභීතභාවය සඳහා වූ ත්‍යාගයට හිමිකම් ලබයි . එහෙම ත්‍යාගයක් කිසිවකු දෙන්නේ නැත.
මධුසමය අහිමි මංගල්‍යය සිල්වියා ප්ලැත් ගේ ස්වයං චරිතාපදාන නවකතාවක් වන The Bell Jar (සීනුවක් වන බඳුන ) කෘතිය හෝ ඇය ගේ දැඩි හැඟීම්බර කාව්‍ය නිර්මාණ සමග සෘජුවම තේමාත්මකව සමපාත වේ යැයි මට සිතේ. නිර්මාණශීලී, ජීව ගුණයෙන් පිරි කාන්තාවන් කෙරෙහි සමාජය පටවන අපේක්ෂා නිසා ඔවුන් හුස්ම ගත නොහැකිව කොටු වී සිටින ආකාරය ප්ලැත් නිරන්තරයෙන් ලිව්වා ය.
තම විවාහ ජීවිතයේ අසාර්ථකත්වය හෝ කටුක අත්දැකීම් ගැන ලිවීම විශාල ධෛර්යයක් අවශ්‍ය වන කාර්යයකි. විශේෂයෙන්ම පවුලේ "ගෞරවය" නාමයෙන් විවාහයේ ගැටලු රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කරන දකුණු ආසියාතික සංස්කෘතියක් තුළ මෙය වඩාත් කැපී පෙනේ. තමාගේ ම ජීවිතය සාහිත්‍යයක් බවට පත් කිරීමෙන්, තිළිණා ලෝකයේ ප්‍රබල ස්ත්‍රීවාදී පාපොච්චාරණ සාහිත්‍ය සම්ප්‍රදාය සමග එක්වන්නී ය.
මට සිතෙන්නේ මේ කෘති ප්‍රකට ප්‍රංශ ස්ත්‍රීවාදී දාර්ශනිකයකු සහ ලේඛිකාවක වන සිමොන් ඩි බුවාර් (Simone de Beauvoir) ගේ කෘති මෙන්ම, එලේනා ෆෙරන්ටේ ගේ ගැඹුරු පෞද්ගලික නවකතා (උදාහරණයක් ලෙස ගතහොත් The Days of Abandonment - අත්හැර දැමීමේ දින ) සමග මනාව ගැළපේ. ෆෙරන්ටේ ගේ කෘති, විවාහයක් බිඳ වැටීමේ දී ඇතිවන මානසික කැලඹීම කිසිදු ලෙසකින් ආදරණීයකරණය නොකර, එහි ඇති රළු සහ බියකරු සත්‍යය එලෙසින්ම මතු කර පෙන්වයි. The Woman Destroyed (විනාශ වූ ගැහැනිය) යනු ප්‍රංශ පැවැත්මවාදී (existentialist) ලේඛිකා සීමොන් ඩි බුවාර් විසින් 1967 දී ප්‍රකාශයට පත් කරන ලද, කෙටිකතා තුනකින් සමන්විත ප්‍රබල කෘතියකි. මෙම කෙටිකතා ත්‍රිත්වය කාන්තාවන් තම සාම්ප්‍රදායික ගෘහස්ත භූමිකාවලින් බැහැර වන විට මුහුණ දෙන පැවැත්ම පිළිබඳ අර්බුද (existential crises), වයස්ගත වීම සහ අනන්‍යතාව අහිමි වීම යනාදි කරුණු ගවේෂණය කරයි. ඩි බුවාර් මෙම ආඛ්‍යාන භාවිත කරන්නේ මිනිස් මනසේ ගැඹුරින් මුල් බැසගත් හැඟීම්බර සත්‍ය පරීක්ෂා කිරීමට ය. එහි දී ඇය විශේෂයෙන් අවධානය යොමු කරන්නේ පැවැත්ම පිළිබඳ අර්බුදය; එනම්, කාන්තාවන් බිරිඳක් සහ මවක් යන භූමිකා අධික ලෙස වැලඳ ගැනීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාව අහිමි කර ගන්නා ආකාරය, වයස්ගත වීම සහ අවදානම, තාරුණ්‍යය සහ ආශා ක්ෂය වී යාමත් සමග, වයස්ගත කාන්තාවන්ට සමාජයෙන් එල්ල වන කටුක සහ බොහෝ විට අනුකම්පාවකින් තොර සැලකීම ආදිය යි. සමහර විට ප්‍රංශ සාහිත්‍ය තුළ තිළිණා ගේ ග්‍රන්ථ ත්‍රිත්වයට වඩා වැඩි අවධානයක් යොමුවන්නට තිබුණි.

ලෝක සාහිත්‍යය තුළ, "මධුසමය අහිමි මංගල්‍යයක්" යනු විවාහය පිළිබඳ පවතින රොමැන්ටික් මිථ්‍යාව බිඳ වැටීමේ කදිම සංකේතයකි. එය ෂාලට් බ්‍රොන්ටී ගේ "ජේන් අයර්" නවකතාව ද සිහිපත් කරයි; එහිදී විවාහ මංගල්‍යයකින් අපේක්ෂා කරන සතුට, සැඟවුණු අඳුරු සත්‍ය හෙළිදරව් වීමත් සමග ක්ෂණිකව සුනුවිසුනු වී යයි. තිළිණා වීරසිංහ ඇගේ පෞද්ගලික සත්‍යය සමාජය සමග බෙදා ගැනීම හරහා, ඇය තම කතාව හුදෙක් පෞද්ගලික දුක්ගැනවිල්ලකින් ඔබ්බට ගෙන ගොස් දේශපාලනික ප්‍රකාශනයක් බවට පත් කරයි. එමගින් ඇය, මෙවැනි පෞද්ගලික වේදනාවලින් පීඩා විඳින්නේ තමන් පමණක් නොවන බව අනෙකුත් පාඨක කාන්තාවන්ට ද පසක් කර දෙන්නී ය.
කාන්තාව පිළිබඳව විශ්වීය යථාර්ථයක්
තිළිණා වීරසිංහයන් ගේ හඬ සුවිශේෂී වන්නේ ඇය කාන්තාවන් ගේ වේදනාව පන්ති භේදයකට කොටු කිරීමට ප්‍රතික්ෂේප කරන බැවිනි. අතවර සහ අත්හැර දැමීම් "දුප්පත්" මෙන්ම "පොහොසත්" කාන්තාවන්ට ද පොදුවේ බලපාන බව පෙන්වා දීමෙන් ඇය ඔප්පු කරන්නේ පීතෘමූලික සමාජ ක්‍රමය තුළ පීඩනය සැමට පොදු බවයි. ඇයගේ කෘතිවල භාෂාව සහ පසුබිම අනන්‍ය ලෙස ශ්‍රී ලාංකීය වුව ද, ස්ත්‍රී ගෞරවය, අනන්‍යතාව සහ මානසික සුවය උදෙසා ඇය නඟන හඬ සම්පූර්ණයෙන් ම විශ්වීය එකකි. පීතෘමූලික අපේක්ෂා විසින් කාන්තාවන් මත සමාජය විසින් පටවනු ලබන සුවිශේෂී පීඩන මගින් ඔවුන්ව අත්හැර දැමීම් සහ පාවාදීම් හමුවේ දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් කරයි.
මගහැරුණ දේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ මේ දිනවල ළාබාල දැරිවියන් සහ ස්ත්‍රී අපයෝජන සිද්ධි පිළිබඳ බොහෝ සාකච්ඡා ඇතිවේ. ඉන් එක කරුණක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක දී එක් මන්ත්‍රීවරියක් රජයට අනුබද්ධිත ආයතනයක නීති අධ්‍යක්ෂකවරියක්ව අනවශ්‍ය ලෙස ප්‍රශ්නවලට බඳුන් කරන ලදැයි ඝෝෂාවක් ඇත. ඇය එසේ කෙරුවා යැයි මොහොතකට සිතමු. ප්‍රශ්නය වන්නේ ඇයට එරෙහිව, දැරිය වෙනුවෙන් යයි පෙනී සිටිනවා යැයි පවසන බොහෝ දෙනා විසින් කරන වාචික අපයෝජනය යි. එය ඉතා බැරෑරුම්ය . ඇගේ රූපය, ඇගේ කථිකත්වය අපහාසයට පත් කරමින් සතුන්ගේ නම, වැසිකිළි නම් භාවිත කරමින් ඇයට නින්දා කරති. දැරිය මෙන්ම ඇය ද මේ පුරුෂ මූලික සමාජයේ ගොදුරු බවට පත් වී ඇත. විවේචනය එකකි. අපහාසය තව එකකි. එසේ ම මේ අපහාස කරන අය ගේ වර්ගයා ම තම ආගමිකත්වය පෙරට දමා ආගමික සංස්ථාව බේරාගන්නට එන්නෝ ද වෙති. සමහරු ඊට පෙර දැරිය ගැන වචනයක් හෝ කතා කළ අය නොවෙති.
තිළිණා ගේ පොත්වල අඩුව ලෙස මම දකින්නේ මෙන්න මේ තත්වය ඇයට මග හැරී යෑම ය. ඇගේ පළමු ග්‍රන්ථය වන 'ආදරණීය දෙවියන් වහන්සේ ' පොතෙහි ගැහැනියක් තවත් ගැහැණියක ගේ ප්‍රශ්නය තේරුම් නොගත් බවක් පෙන්වයි. ඉහත කී දැරිය ගේ සිද්ධියේ දී දැරිය ගේ මව ද අපයෝජකයන්ට උදව් දීමක් වාර්තා වේ. සමහර ගැහැනු තමන් අභිභවා යන පිරිමි චරිතයට වඩා ගැහැනු චරිතයට එක්කෝ ඊර්ෂ්‍යා කරති; නැතිනම් පිරිමි සමග එක්ව අපහාස කරති. එනිසා තිළිණා ගේ පොත් ස්ත්‍රීවාදී සෙයක් පෙන්නුම් කළ ද තිළිණා ඒ පිළිබඳව දක්වන උදාසීන උකටලී භාවය ද හඟවන්නී ය.
ඇගේ "මෙහෙකරුවා සමග කල සෙල්ලම ' කෙටි කතාව මට සිහිපත් කළේ ධර්මසිරි බණ්ඩාරණායක ගේ "තුන් වෙනි යාමය" චිත්‍රපටය යි . දෙමාපියන්ට මෙන්ම ළමයින්ට ද ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ළමුන් ක්‍රමයෙන් වැඩි වියට පත් වන්නේ කෙසේද යන්න වඩා හොඳින් වටහා ගැනීම සඳහා ය.
ඇගේ පොත් වල නිසඳැස් ද බහුලය . විටෙක කෙටි කතාව තව විටෙක කාව්‍යයකි .
'අඳුරටත් අහසටත් මම කොතරම් ඇලුම් කරමි ද...?
එහෙත්, ඒ සියල්ලට වඩා අද
මම ඔබට ආදරය කරමි.
දිගුම දිගු රාත්‍රියට පසුව ද
ඔබේ උණුසුමින්
මගේ හදවත නිදි බරය...'
පි 33 ''නාඳුනන ගැහැණිය"
සමහර විටෙක විවේචනය තියුණු ය. නමුත් ඇත්ත කියන්නට ද බිම ඉඳ ගන්නට ද බිය විය යුතු නැත යැයි කියමනක් තිබේ.
"තාත්තා හිතන්නේ අම්මයි තාත්තයි උගනන්පු දේවල් වත් හරියට ඉගෙන ගත්තේ නැති නිසා මං විශ්වවිද්‍යාලේදීවත් ඔහේ උඩ බලන් ඉන්න ඇති කියලයි. විශ්වවිද්‍යාලයේ ගිහින් උඩ බලන් හිටියත් එහෙ මෙහෙ බල බල හිටියත් නිකම්ම හිටියත් උපාධිය දෙනවා. ඇයි විශ්වවිද්‍යාලේ උගන්නන අයත් වැඩි දෙනෙක් ඔහේ උඩ බිම බලන් නිකන් ඉන්න අයනේ."
පි 45 - සමනල මරණය
සමනල මරණය කතාව මියගිය යුද සෙබළකු ගැන ය. අප දන්නේ රණවිරුවන් සහ ඔවුන්ව දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍යවවල විකුණන් උන් ගැන පමණකි. සැබෑ වීරයන් අඩි හයක් යටය.
"මිය ඇදුණවුන් කිනම් කඳවුරකට අයත්දැයි සෙවීමට ඔවුන්ගේ ලේ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය විය ." පි 57
සොල්දාදුව ගේ මරණය මෙන්ම ඔහු ගේ අහිමි වීම තුළ වැලපෙන තරුණ බිරිඳ ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි.
"ඇය ඔහු විවාහකරගෙන සුළු කාලයකි.
සීතල දුරුත්තේ දී ඔහු හා එක්වූ ඇය
සිතල උඳුවප් මහේ දී ඔහුගෙන් වෙන් වූවා ය.
ඔතන ලද සිංහ කොඩිය සමග ඔහු ගේ හමුදා ආයිත්තම් ඇය වෙත පිරිනමන මොහොතේ ඇය ඒ දෙස නොබලා කොඳුරන්නට පටන් ගත්තා ය.
"මං ආවේ ජිවත් වෙන්න. එයත් එක්ක ජිවත් වෙන්න. එයා මාව එක්ක ආවේ ජීවත් වෙන්න. එයා රස්සාව කෙරුවේ ජීවත් වෙන්න ඒත් එයා..."
පි 64 සමනල මරණය
අපේ හද වේදනාවෙන් පිරී යන්නේ මේ සත්‍යයම වූ යථාර්ථය බැවිනි. මේ යුද්ධයේ එක පැත්තක් පමණකි. අපි හොඳින් හිටිය ද, ඔවුන් සිටියේ ද, සිටින්නේ ද දුකෙන් පීඩිතව ය. යුද්ධය ම සොයනා කෙනකුට එය වැටහෙන්නේ නැති බව අද ද ලෝකය දෙස බලන විට පෙනේ.
මා සිමොන් ඩි බොවුවාර් ගැන ඉහත ලීවේ අහම්බයකින් නොවේ .
සිමොන් ඩි බොවුවාර් ගේ 'ද බ්ලඩ් බ්‍රදර්ස්' නමැති කෘතියේ පරිවර්තනයට තිළිණා කැමති බව "මධු සමය අහිමි මංගල්‍යය " පොතේ සඳහන් ය.
"ඔයා දන්නව ද ස්ත්‍රීවාදීන් සිමොන්ව විවේචනය කරනවා එයා සාත්‍රගෙ (ෂෝන් පෝල් සාත්‍ර) හෙවණැල්ල උණා කියල. "සෙකන්ඩ් සෙක්ස්" කියන පොතින් ස්ත්‍රීන් ගේ අයිති ගැන කතා කරන සිමොන්ගේ "ප්‍රයිම් ඔෆ් ලයිෆ්" කියන පොතේ සාත්‍රගෙන් වෙන් වෙච්ච අනන්‍යතාවක් නැතිලු."
පි 46
සිමොන් ඩි බුවාර් ගේ චරිත කතාව ලෙස සැලකෙන 'ද ඉන්සෙපරබල්ස් - වෙන් කළ නොහැකි ' නම් ග්‍රන්ථයේ අග්‍රේගට්සියොන් agrégation නම් විභාගයේ දී සිමෝන් ඩි බුවාර් ෂෝන් පෝල් සාත්‍රේ ට සම ලකුණු ගත් බවත් ජූරිය (විභාග කොමිසම ) ගැහැනියකට පළමු තැන දීම නුසුදුසු සහ ප්‍රශ්න ඇති කරන්නක් බවට තීරණය කළ බවත් ගැන රාවයක් පවතින බව සඳහන් වේ .
අපට ලංකාවේ පහළ වන්නට සිටි සිමොන් ඩි බොවුවාර් අහිමි වූවා වත්ද තිළිණා?
මා කැමති වදන් පෙළක් මෙහි තිබේ.
"මගේ ආදරය
වෙළඳපළක් නැති
නිෂ්පාදනයකි"
පි. 53
"මධු සමය අහිමි මංගල්‍යයේ" මෙසේ ද ඇත.
"දැන් බලන්න මේ විප්ලවවාදී නායකයින් එංගලන්තයේ හරි අමෙරිකාවේ හරි ජීවත් වෙන්නෙත් අපි වෙනුවෙන් ආරක්ෂා වෙන්නනේ. ඒ ගොල්ල අදිසි බලවේග වගේ ඉඳලා හිටලා මවුබිමට ඇවිත් ජනතාව අමතනවා . පහළ පන්තියේ අයට ඒ කියන්නේ ගොවියන්ට කම්කරුවන්ට. ඔය දේශපාලන න්‍යාය උපාය ගැන ඒ තරම් දැනුමක් නැහැනේ"
පි . 66
මේ ලියන්නේ ලංකාවට පැමිණ පළමු වතාවේ ම පැය ගණනක් කතා කළ 'සහෝදරයා ' ගැන විය යුතු ය.
තිළිණාට අමතක දෑ
පළමුවෙනි කාරණය නම් තිළිනා ට අමතකව ඇත්තේ: ලෙනින්, මාක්ස් ආදී දේශපාලන නායකයින් ද, එංගලන්තය, ජර්මනිය , ස්විට්සර්ලන්තය යනාදි රටවල්වල දේශපාලන රැකවරණ ලැබ විසූ බවයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට පැවති තත්ත්වය අනුව සමහරුන්ට රටින් පිට වෙන්නට සිදුවීම ඔවුන්ගේ ම වැරැද්දක් නොවේ. දෙවෙනි කරුණ නම් පෙරටුගාමී (vangaurd) පක්ෂයක කේඩරය කම්කරුවන්ට දැනුම රැගෙන යා යුතු බවට ලෙනින් තුන්වෙනි කොන්ග්‍රසයේ දී කළ කතාව ද ඇයට අමතකව ඇත. ඔවුන්ට දැනුම අහසින් වැටෙන්නේ නැති අතර එසේ නැතහොත් ඔවුන් වෘත්තීය සමිති ජිවිතයකට බැඳෙන බව ද ඔහු පවසා ඇත.
මේ ස්ත්‍රීවාදී කතිකාවට ඇත්තට ම දේශපාලන භේදයක් හෝ පන්ති භේදයක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලනික ශිෂ්‍ය සංවිධානය වන අන්තර් විහ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතීතයේ සිට ම ශෂ්‍යාවන්ට වෙන අපයෝජන, කරදර අභියස බොහෝ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිට නැත. ඔවුන් ගේ උප සංස්කෘතිය ද ඇඳුම් පැලඳුම්වලට නීති පනවන තරමට ගතානුගතික ය.
එසේම ධනපති පන්තියේ හෝ නිර්ධන පන්තියේ කියා වෙනසක් ද නොමැත. නිර්ධන පන්ති නිවසක කාන්තාව සමහර විට කුසගින්නේ පවා වැඩියෙන් වැඩ කරද්දී ධනපති පවුලක ගෘහස්ත හිංසන සිදුවිය හැකි ය. එසේම මොන ආගමික සංස්ථාව ද කියා වෙනසක් ද නැත. වර්තමානයේ පවා ඒ ගැන මාධ්‍යවල පළවේ. ආගමික සංස්ථා සියල්ලක් ම පාහේ ස්ත්‍රී හිංසන හෝ අපයෝජන සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත. දියුණු රටවල් කියා ද වෙනසක් නැත. නීතිය නොදියුණු වඩා දුප්පත් රටක හිංසන වැඩි විය හැකි වුව ද පොහොසත් රටවල ද ඒ ආකාරයෙන් ම හිංසන පවතී. නැතිනම් ඒ සඳහා විශේෂ නියාම පනවන්නට හේතුවක් නැත. දක්ෂිණාංශික හෝ වාමාංශික කියා භේදයක්ද නොමැත. මේ දෙපසින් ම එක හා සමාන ප්‍රශ්න තිබෙන අතර ලිංගිකත්ව අතර සමානතාව පිළිගත්ත ද ක්‍රියාත්මක කිරීමේ දී දෙගොල්ල ම අතරේ වෙනසක් නැත. වාමන්ශිකයින් වඩා හොඳ යැයි පිළිගැනීමක් තිබුණ ද සම විටම එය ම එසේ නොවේ. ඔවුහු බොහෝ විට තමන් පැත්තෙන් සිදුවන දේවල් 'පවුලේ දෙයක් ' ලෙස සඟවා පක්ෂ නායකත්වය වැසුණු දොරවල් තුළ විසඳන්නට උත්සාහ ගනිති. එංගලන්තයේ ප්‍රසිද්ධ වාමාංශික පක්ෂයක සිදුවීම් කිහිපයක් ඇතුළෙහි සඟවා ගැනීම ගැන ඇතිවුන කලබලයක් මට මතක ය. සමහර ගත් කතුවරුන්, වෙබ් කතෘවරුන් , කලාකරුවන් අතරින් ද, ලෝකයට එක මුහුණක් පෙන්වා නිවසේ යක්ෂයින් ඒ හැසිරෙන්නවුන් පිළිබඳ කතා මම දනිමි.
අපට ඉතිරිව ඇති දෑ

දැනට ලෝකයේ පවතින දක්ෂිණාංශික නැඹුරුව අතරේ ස්ත්‍රීවාදී කතිකාවට දැඩි ප්‍රහාරයක් එල්ල වේ . බ්‍රිතාන්‍යයේ නයිජල් ෆරාජ් ගේ රිෆෝම් නමැති දක්ෂිණාංශික පක්ෂය, ගැහැනු ළමුන්ට වෙනත් සංක්‍රමණික ජාතිකයන් ගෙන් වන හිංසා ගැන උලුප්පා කතා කළ ද (එසේ වන බව සැබෑය) ඔහුගේ පක්ෂයේ මෙන්ම අලුතින් පිහිටුවන ලද රෙස්ටෝ පක්ෂයේ ද සාමාජිකයන් දේශපාලනයේ සහ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ කාන්තාවන්ට අවඥා සහගතව සහ පිළිකුල් සහගත ලෙස පරිභව කරන වීඩියෝ සහ සමාජ ජලා ප්‍රතිචාර බොහොමයක් හෙළිදරව් වෙමින් පවතී.
ඒ නිසා අපට ඉතිරිවන්නේ පක්ෂ හෝ දේශපාලන භේදයකින් තොරව එක හා සමාන අවස්ථා දෙපක්ෂයට ම උරුම කර දීමටත්, ස්ත්‍රී පුරුෂ සමානත්වය රැකීමත් හිංසනයෙන් සහ අපයෝජනයෙන් තොර සාමකාමී ජිවිතයක් ගත කිරීමේ අයිතියත් තහවුරු කිරීම ය. ඒ සඳහා දිගින් දිගටම් කටයුතු කිරීම ය.
තිළිණා බඳු ලේඛක ලේඛිකාවන් ගේ පොත් වලට සම්මාන නොලැබුණ ද, පිළිගැනීම අඩු වුණ ද අප උකටලී විය යුතු නැත.
තවත් සටන් කරන්නට, ලියන්නට තිළිනා ට ධෛර්ය පතමි.
සැ.යු - මුල් පින්තූරය යෙව්ගෙනි ලන්සර් ගේ "සන්ධ්‍යාව" (1912) නමැති සිතුවමයි . එය අක්මටෝවා ගේ කාව්‍ය අඩංගු පොතකින් ඡායාරූප ගත කෙළෙමි .
මූලාශ්‍ර:
The Inseparables ,The Women Destroyed- Simone De Beauvoir
The Complete poems of Anna Akhmatova - Judith Hemschemeyer
The Bell Jar - Sylvia Plath
The Days of Abandonement - Elena Ferrante
තෝරාගත් කෘති - ලෙනින් (මාක්ස්වාදී ලේඛන ගබඩාව )

සටහන - අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
