ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතියක් වන ඩොලර් බිලියන හතරක් වූ නව ඛනිජ තෙල් පිරිපහදුව සඳහා වූ අභිලාෂ කැඳවීම මේ දිනවල කරළියට පැමිණ තිබේ.
මේ සඳහා ආයෝජකයන් වෙත අභිලාෂ ප්‍රකාශ කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝකයේ දැවැන්ත සමාගම් වෙත ඇරයුම් කර ඇතත්, එහි ඇතුළාන්තයේ ගැබ්ව ඇත්තේ මේ සඳහා ඉල්ලුම් නොකරන තත්ත්වයකට ලෝකයේ ප්‍රබල සමාගම් පත් කිරීම ය. එය සෘජුවම ආයෝජන අකර්මණ්‍ය කිරීමකි. ඒ සඳහා පැමිණෙන ආයෝජකයෝ, ඩොලර් බිලියන එකක බැඳුම්කරයක් සහ පිරිපහදුවෙන් ලැබෙන ශුද්ධ ලාභයෙන් 20%ක් තෙල් සංස්ථාව වෙත ලබා දිය යුතු බවට කොන්දේසි පැනවිය යුතු යැයි තෙල් සංස්ථාවේ ප්‍රධානීන් ගේ රහස් සාකච්ඡාවකින් හෙළිදරව් වූ බව ‘යුක්තිය උදෙසා අයිතිය’ සංවිධානය පවසයි.
ආයෝජනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්
කලාපයේ ඇති කුඩා ප්‍රමාණයේ පිරිපහදුවක් වන මේ සඳහා මෙතරම් දැවැන්ත කොන්දේසි ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වුව ද, ලෝකයේ ඇති දැවැන්ත පිරිපහදු සඳහා හෝ එම මට්ටමෙන් ඩොලර් බිලියනයක ප්‍රමාණයේ මූල්‍ය තැන්පතුවක් නොඉල්ලන බවත්, මෙය ආයෝජකයින් දිරිමත් කිරීමක් නොව එළවා දැමීම පිණිස සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එම සංවිධානය ප්‍රකාශ කර සිටියි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ රජයක පැවැත්ම සඳහා තීරණාත්මක මෙම පිරිපහදුව කඩිනම් ආයෝජනයක් ලෙස සලකා ඒ සඳහා හැකි උපරිම දිරිගැන්වීම් ලබා දිය යුතුව තිබිය දී, මේ ආකාරයේ කොන්දේසි පැනවීම සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් සාකච්ඡා කරනුයේ පෙර සිටි අමාත්‍යවරයා ගේ රුසියානු සංචාරයක දී තෙල් පිරිපහදු සමාගමක් සමග ඇති කරගත් එකඟතාවක් මත මෙම කුමන්ත්‍රණය දියත් කර මෙම ආයෝජනය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සහ මෙම ව්‍යාපෘතිය ද සංසන්දනය කරමිනි.
හිටපු ඇමැතිවරයා ගෙන් තවමත් බලපෑම්
පෙර සිටි අමාත්‍යවරයා මෙම තෙල් පිරිපහදුව රුසියානු සමාගමක් වෙත ලබා දීමට කුමන්ත්‍රණ දියත් කළේ ය. ජාත්‍යන්තර සම්බාධකවලට ලක්වී තහනම් වූ එම සමාගම, තමන් වෙත මෙම ඉදිකිරීම් අවස්ථාව ලබා දෙන්නේ නම් ඒ සඳහා ඇමැතිවරයා වෙත අත යට මුදලක්, රුපියල් බිලියන එකහාමාරක ඇපකරයක් තැන්පත් කිරීමට සහ ලාභයෙන් 25%ක් තෙල් සංස්ථාව වෙත ලබා දෙන බවට බොරු පොරොන්දුවක් දී ඇති බවට වාර්තා වී තිබුණි. ජාත්‍යන්තර තහනමට ලක්වූ එම සමාගම, කිසිසේත් වෙනත් රටක ව්‍යාපෘති සඳහා ගෙන්වා ගැනීමට හෝ ඔවුන්ගේ කාර්යසාධනයේ දී සලකා බැලීම සඳහා පවා අතිශය නුසුදුසු ආයතනයකි. එසේම ඔවුන් කාර්යසාධනයේ දී ප්‍රතික්ෂේප විය. මේ හෙයින් හිටපු ඇමැතිවරයා එම ආයතනය කාර්යසාධනය සඳහා නැවත ඇතුළත් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවුණු අතර, එහෙයින් සිතාමතාම මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට ඔහු බලපෑම් කරමින් සිටියි.
හිටපු ඇමැතිවරයා තවමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇගයීම් මණ්ඩල සාමාජිකයන් වෙත දැඩි බලපෑමක් ඇති කරන බව සඳහන් වේ. අමාත්‍යධුරය අහිමි වී තිබුණ ද ඔහුගේ අදෘශ්‍යමාන බලවේග තවම මේ ව්‍යාපෘතිය පුරා දිගහැරෙමින් පවතී. ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන් දැන් සැරසෙන්නේ එම කඩවුණු පොරොන්දුව ව්‍යාපෘතිය සඳහා යළිත් යොදවා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ආයෝජන අහිමි කිරීමට බව, ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග අනුව එම සංවිධානය ප්‍රකාශ කරයි.
තිරය පිටුපස හිටපු ප්‍රබල ඇමැතිවරයකු ගේ පුත්‍රයෙක්
මෙම ව්‍යාපෘතිය සඳහා අවසාන හෙවත් කෙටි ලැයිස්තුගත (Shortlisted) වී ඇති සමාගම් දෙකක් ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග සෘජු සබඳතා ඇති ඒවා ය. එහෙයින් එම සමාගම් අදාළ ටෙන්ඩරයේ පාර්ශ්වකරුවන් වීම, සබඳතා අතර ගැටුමක් (Conflict of Interest) මතු කරන්නේ ය. Lanka IOC යනු තෙල් සංස්ථාවෙන් තුනෙන් එකක අයිතිය සතු සමාගමකි. එසේම හිටපු ප්‍රබල ඇමැතිවරයා ගේ පුත්‍රයා ගේ ප්‍රොක්සිය (Proxy) වූ පුද්ගලයා දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන Itochu Corporation නම් ජපන් සමාගම ද දැඩි බලපෑමක් කර මෙම කෙටි ලැයිස්තුවට ඇතුළත් කළේය.
මීට පෙර රජයක විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තැනැත්තා සමග මෙම ජපන් සමාගම සෘජු සම්බන්ධයක් ඇති හෙයින්, ඔහුගේ පාලන කාලයේ තනතුරු හෙබවූ නිලධාරීන් ඔස්සේ එම සමාගමේ අවශ්‍යතා ඉටු කිරීමට ඔහුට හැකියාව ලැබෙන්නේ ය. අනෙක් අතට, නව රජයක් ජනතාව විසින් බලයට පත් කරන ලද්දේ හිටපු දූෂිත ඇමැතිවරුන්ට මේ ආකාරයට අඛණ්ඩව සිය චෞර රංගනයන් ඉදිරියට ගෙන යාම සඳහා ද යන ප්‍රශ්නය පවතී.
පැරණි සමාගම් වර්තමාන අධිකාරීන් සමග ද තෙල් රස බෙදාගන්නවා
ශ්‍රී ලංකාව වෙත බොරතෙල් සපයන්නෙකු ලෙස එම ඇමැතිවරයා ගේ කාලයේ දී ලියාපදිංචි වී ඇති ප්‍රශ්නගත ජපන් සමාගම, අඛණ්ඩව එම කටයුත්ත ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග තවම සිදු කරන්නේ නව පාලන අධිකාරියේ ආශීර්වාදය ඇතිව ය. ඔවුන් මෙම ටෙන්ඩරය සඳහා සබඳතා අතර ගැටුමක් මතු කිරීම අදාළ ගනුදෙනුවේ පාරදෘශ්‍යභාවයට ප්‍රබල ගැටලුවක් වී ඇත. එම සමාගම තෙල් සංස්ථාවේ වර්තමාන අධිකාරීන් සමග ද තෙල් රස බෙදාගන්නා බැවින්, Itochu Corporation සමාගම තවමත් ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව බොරතෙල් සැපයීම සිදු කරයි. තෙල් සංස්ථාවේ පූර්ණ සහකරුවකු වන මුතුරාජවෙල ඛනිජ තෙල් සමාගම් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති Hyrax Lanka සමාගමේ අධ්‍යක්ෂවරයා, මෙම ජපාන සමාගමේ දේශීය නියෝජිතයා වේ. ඔහු පසුගිය රජයේ සංස්ථා සභාපතිවරයෙකු ලෙස කටයුතු කළේය. මෙවැනි තරගකාරී ටෙන්ඩරයකට මෙවැනි ආයතන ඉදිරිපත් වී, එය දූෂිත ගනුදෙනුවක් බවට පත් කිරීම ව්‍යර්ථ කිරීම අතිශය වැදගත් ය.
පෙර ආණ්ඩුවේ හිටපු ඇමැති සහ මේ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයා අතර විශේෂ සම්බන්ධතාවක්...?
Itochu Corporation ආයතනයේ දේශීය නියෝජිත ආයතනයක් තිබිය දී, ඇමැතිවරයා ගේ හිතවතා සිංගප්පූරුවේ Itochu ආයතනය විසින් පිරිපහදු ව්‍යාපෘතිය සඳහාත් බොරතෙල් ආනයනය සඳහාත් නියෝජිතයා ලෙස පත් කිරීම ප්‍රශ්නගත ය. මෙම රජය වහා මැදිහත් වී එය ජනතාවට විසඳා දිය යුතුය. එසේ නොවන්නේ නම්, මීට පෙර ආණ්ඩුවේ හිටපු ඇමැති සහ මේ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයා අතර විශේෂ සම්බන්ධතාවක් තිබේද?
‘යුක්තිය උදෙසා අයිතිය’ අධිකරණයට යෑමට සැරසෙයි
ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල බරක් වී ඇත්තේ පිරිපහදු කළ තෙල් විදේශරටවලින් ආනයනය කිරීමයි. ඒ සඳහා ඉඩ අහුරමින් නව පිරිපහදුවක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම අත්‍යවශ්‍ය වන්නේ, සවිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය විදේශ විනිමය ඉතිරි කිරීමටත් කලාපීය නොසන්සුන්කාරී භාවය හේතුවෙන් බලශක්ති සුරක්ෂිතභාවය ඇති කිරීමටත් මිස, රට අකර්මණ්‍ය කර සිය මඩිය තර කර ගැනීමට නොවන බව ‘යුක්තිය උදෙසා අයිතිය’ සංවිධානය දැඩිව අවධාරණය කරයි. එම ඛනිජ තෙල් පිරිපහදුව සඳහා මෙවැනි දැවැන්ත බාධා යෝජනා කිරීමට බලධාරීන් සාකච්ඡා පවත්වනුයේ රටේ අනාගත ආර්ථිකය තවදුරටත් අකර්මණ්‍ය කිරීමට සහ සිය මඩිය තර කර ගැනීමට බව පැහැදිලිය. මේ පිළිබඳව අධිකරණය ඉදිරියට ගොස් රටට සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ‘යුක්තිය උදෙසා අයිතිය’ සංවිධානය වැඩිදුරටත් පවසා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
