නන්දන ගුණතිලක හදිසියේ මිය යනවිට චෝදනාව එල්ල වූයේ වජිර අබේවර්ධනට ය.
ඒ රෝහල් ගාස්තු ගෙවීමට අවශ්‍ය රුපියල් ලක්ෂ පහ කලට වේලාවට ඔහු ලබා නොදුන් බව කියමිනි. නමුත් මරණයේ උණුසුම තිබිය දී ම චෝදනාවක් නිර්මාණය කෙරුණි. ඒ නන්දන ඝාතනය කර ඇති බවයි.

සාමාන්‍යයෙන් යමක් ගැන සැක කරමින් විනෝදවීම මිනිස් ස්වභාවයකි. සියල්ල බටහිර කුමන්ත්‍රණ යැයි සැක කළ පුද්ගලයන්ට නන්දනගේ මියයෑම ඝාතනයක් යැයි සැක කිරීම සරළ ක්‍රියාවකි. විශේෂයෙන් ආණ්ඩු මාරුවත් සමඟ විශාල බලාපොරොත්තු කඩවීමකට ලක්ව සිටින පිරිස්වලට මෙය එල්ලෙන්න හොද වැලකි.
චෝදනාව එල්ල කරන්නේ නන්දනගේ පවුලේ සාමාජිකයන් නොවේ. ගරු කටයුතු සමාජ පිළිගැනීමක් ඇති අය ද නොවේ. අපේක්ෂාභංගත්වයට පත්වූවන් තැන තැන කියවන වාචාල කතාවල නීතිමය වටිනාකමක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශපාලන වටිනාකමක් චෝදනාවට ආරෝපණය කර ගැනීමටයි. ඇත්තටම මරණය ගැන සැකයක් ඇත්නම් යා යුත්තේ පොලීසියටයි.
ජනතා විමුක්ති පෙරමුණ කාලයක් තිරචීන ලෙස මිනීමැරූ පක්ෂයක් බව සත්‍යයකි. එහෙත් ඔවුන් මිනී මැරුවේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිවය. එදා රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවූවන් පෙරලා ජවිපෙට අද මිනීමැරුම් චෝදනා එල්ල කිරීම උත්ප්‍රාසය කි.
ජවිපෙ අද රාජ්‍ය බලය දරයි. මිනීමැරීම සදහා වූ පරිසර අවශ්‍යතා නොපවතී. අනෙක මරාදමන්නේ නයි, පොලොන් වැනි විසකූරු සතුන් මිස ගැරඩින් නොවේ. නයි, පොලොන්ගු පවා මරා දැමීමට වත්මන් පරම්පරාව නොපෙළඹේ.

මිනීමැරීමට තබා එදිනෙදා ආණ්ඩුකරණයට හෝ මේ ආණ්ඩුවට පෞරුෂයක් නොමැත.ආණ්ඩු බල ගත්තත් රාජ්‍ය බලය ගත්තේ නැතැයි නිවට කතා කියමින් සිටින්නේ එබැවිනි. එවැනි ආණ්ඩුවකට ඝාතන චෝදනා එල්ල කිරීම චෝදකයන්ගේ අඥාණකම ප්‍රදර්ශනය කිරීමකි.
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ

