ඇත්තටම මේ අදහස ටිකක් විවාදාත්මකයි.
"ඕක වැඩිහිටි පරම්පරාවෙ අතීත කාමය සනසන කතාවකට වැඩිදෙයක් නෙමෙයි. මේ යුගයේ ළමයින්ට ඕක දුරස්ථ යි. ඒගොල්ල ඕක කියවන්න කැමති වෙන එකක් නෑ," කියලා ප්‍රතිතර්ක නැගෙන්න පුළුවන්.
මඩොල්දූව තුළ පිළිබිඹු වන කතුවරයා ගේ නවීන දෘෂ්ටිය
මම මේ අදහස් ටිකක් කියන්න යන්නේ; ඇයි මඩොල්දුව නව කතාව මෙච්චර විශිෂ්ට වෙන්නෙ කියන කාරණය ගැන.
මාර්ටින් වික්‍රමසිංහ ගේ චරිත ගොඩනැගීම, සිදුවීම් ඉතාම සමීපව විස්තර කිරීම සහ භාෂාව හැසිරවීමෙහි ඔහු දක්වන විශිෂ්ටත්වය වාගෙ වඩාත් තාක්ෂණික පැත්තට බර කාරණා ගැන නෙමෙයි මම ලියන්න යන්නෙ. මඩොල්දූව තුළ එන කතුවරයා ගේ නවීන දෘෂ්ටිය පිළිබඳව.
මාර්ටින් වික්‍රමසිංහ
''ලොකු පවක්'' කියන්නෙ මොකක් ද...?
මේ පෝස්ට්ටුවෙ තියෙන්නෙ මඩොල්දූව සිනමාපටයෙ එන රූප රාමුවක්.
ධර්මදාස නම් ගුරුවරයාගෙන් ශිෂ්‍යයෙකු මෙන්ම ඔහු ගේ පුතා ද වන දරුවා "කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි." කියන සිල් පදයේ තේරුම විමසනවා. ටිකක් ඈතින් ඉන්න බිරිඳ දිහා විටින් විට බලමින් ගුරුවරයා (තාත්තා) ගොත ගහනවා. පසුව, "ඒක ලොකු පවක්," යැයි ඔහු කියනවා.
"ඒක ලොකු පවක් කියන්නේ තාත්තේ...?"
පුතා නැවතත් විමසනවා.
ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වන ඔහුගෙ බිරිඳ වටපිට බලලා එතනින් ශේප් එකේ මාරු වෙනවා.
"ඒක ලොකු පවක් කියන්නේ, ඒක ලොකු පවක් හින්දා .. මම ඒක පස්සේ දවසක කියලා දෙන්නම්. හා දැන් යනවා."
පාසල් ගුරුවරයා පාඩම කියලා දීම අහවර කරනවා.
මඩොල් දූව අදට ගැලපෙන තරම් නවීන නෑ කියන අයගෙන් අහන්න තියෙන්නේ අද පවා ප්‍රජනන පද්ධතිය විද්‍යාත්මකව හරියට උගන්නගන්න පුළුවන් පෞරුෂයක් තියන ගුරුවර ගුරුවරියෝ කී දෙනෙක් පාසල් පද්ධතිය තුළ ඉන්නවද කියන ප්‍රශ්නය? (ටියුෂන්වල මේක ජනප්‍රිය ම පාඩම වෙලා තියෙන්නෙ එහි කුණු රසයක් මතු කරමින්.)
නව යොවුන් වියට පිවිසෙන දරුවන්ට ලිංගික අධ්‍යාපනය නුසුදුසුයි කියන බහුතරයක් අදත් ඉන්නව නේද කියන කාරණය බොරුවක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ලංකාවෙ ගුරුවරු දරුවන් ගේ විනය කෙරෙහි දක්වන ආදරය සිඳුණු යල්පැන ගිය ආකල්පත් මේ පරිච්ඡේද පුරා කතුවරය ගෙ නිර්දය උපහාසයට ලක්වෙනවා.
ලංකාවේ සමාජය තුළත් පාසල් පද්ධතිය තුළත් තවමත් සාම්ප්‍රදායික ඉගෙනීමේ කටයුතුවලට දක්ෂතා නොදක්වන, දඟකාර, ක්‍රීඩාවලට වැඩිපුර කැමති දරුවන් අනවශ්‍යයි කියල තමයි සලකන්නෙ. මාර්ටින් වික්‍රමසිංහ මේ අභියෝග බාරගන්නව. ඔහු ඔහු ගෙ මේ විශිෂ්ට යොවුන් නවකතාවෙ ප්‍රධාන චරිතය විදිහට තෝරාගන්නෙ එවැනි දරුවෙක්.
කුඩම්මා සංකල්පය නිදහස් කළ හැකි ද...?ඊට පසුව එළඹෙන දසක ගණනාව තුළ ශිෂ්‍යත්ව විභාගය සමත්වීම, නගරයෙ පාසලකට යෑමට හැකි වීම යනාදි කාරණා ජීවිතය ජයගැනීම ලෙස උත්කර්ෂයට නැගුණු යොවුන් නවකතා පොත් කීයක් ලියවුණා ද, ඒවට සම්මානත් ලැබුණා ද? ඒවාගෙම අපි දන්න බොහොමයක් සුරංගනා කතාවල එන පුංචි අම්මා දුෂ්ට ගැහැනියක්. ඒවාගේ ආකල්පයක් සමාජගත වීමේ හානිකර බව මාටින් වික්‍රමසිංහට මග ඇරෙන්නෙ නෑ. ඔහු මුල් පරිච්ඡේදය තුළ ම ඇයව ඒ ආකල්පය තුළින් නැගෙන අපවාදයෙන් නිදහස් කරනවා.
පොලිසියට බයේ හැංගිලා ඉන්න පිරිමියට වඩා මහ රෑ මඩොල්දූවට ඔරුව පැදගෙන එන ගැහැනියගෙ ධෛර්යය ඔහු මගහරින්නෙ නෑ. ඇය වීරවරියක් විදිහට පාඨකයන්ට මුණගස්සනවා. දෘෂ්ටිවාදාත්මකව ගත්තම වික්‍රමසිංහ තවමත් අපේ බහුතර ලේඛකයින්ට වඩා ප්‍රගතිශීලීයි කියලා මට හිතෙනවා.

(සටහන -Jayantha Kahatapitiya)
Writer
උපුටා ගැනීම - Jayantha Kahatapitiya ගේ ෆේස්බුක් පිටුවෙන්...


