පුවත්

මංගල - මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය ! - CBK
අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය මංගල සරමරවීර සම්බන්ධව "නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් - දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි." යනුවෙන් සංවේදී සටහනක් සිය ෆේස්බුක් පිටුවේ තැබීමට හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කටයුතු කර ඇත.
අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.
මංගල - මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය !
මේ අඳුරු දිනයේ ඔබ ජීවිත සටන පරාජය වී ඇත. ඔබේ ඥාතීන් සහ මිතුරන් ඔබව ජීවත් කිරීමට ඔබ සමග සටන් කළහ. කඳුළු සැලූහ. අපි ද ඒ සටහ පැරදුණෙමු. මංගල, ඔබ මිය ගොස් නැත. ලංකාව සහ ලෝකය පිළිබඳ ඔබ තුළ පැවති අසාමාන්‍ය දර්ශනය ජීවත් වනු ඇත. අපි උරෙනුර ගැටී කළ සටන සදාකල්හි ජීවත් වනු ඇත. ආදරණීය මංගල, වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු වන සෑම සටනකම ඔබ ජීවත් වනවා නිසැකය. නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් - දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි. අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැඟී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන් තුළ ඔබ ජීවත් වනු ඇත. විවිධ කැබිනට් අමාත්‍ය ධුර දරමින් අප දේශය වෙනුවෙන් සිදු කළ ඉමහත් සේවය මම සදා සමරමි. ජාතික සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ඔබ නායකත්වය ලබා දුන්නේය. අඳුරු අගාධයකට ඇද දමා තිබුණු අප රටේ විදේශ සබඳතා විශාල වශයෙන් යළි දියුණු කළ ඔබ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාව කරා යළි ගෙන යමින් ප්‍රෞඪ සහ ශක්තිමත් දේශයක් බවට අප රට පත් කළේය. මේ සියල්ල ඔබ සිදු කළේ මහා අභියෝග සහ අවධානම්වලට නොබියව මුහුණ දෙමිනි. මේ සියලල්ටම වඩා වැඩියෙන් ඔබ තුළ වූ පෞද්ගලික ප්‍රතිපත්ති සහ ගතිගුණ ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සොයා ගැනීමට නොහැකි තරම් ය. පරම්පරා ගණනාවක් ඉදිරියට ද අප තාරුණ්‍යය ඔබ විසින් අභිප්‍රේරණය කරනු ඇත. ආදරණීය මිතුර, ශක්තිමත්ව සැතපෙන්න. නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ-අප සිහින දුටු වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න. මීට,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

වෛද්‍ය උපදෙස් නොමැතිව දරුවන්ට විටමින් C දෙන්න එපා - විශේෂඥ වෛද්‍ය නලින්
දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය.
ඔහු මේ පිළිබද පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධ බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් කරන බවය.
"සමාජ මාධ්‍යයෙන් දැකලා තියෙන, ඔබට හිතෙන එක එක බෙහෙත් වර්ග දරුවන්ට ලබාදෙන්න එපා. ඒක සමහර වෙලාවට දරුණු ආබාධ ඇතිකරන්න පුළුවන්. දෙමව්පියන්ට හිතෙන පරිදි දරුවන්ට විටමින් C දෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද දරුවන්ට විටමින් C කොච්චර දෙන්න ඕනෙද කියලා කවුරුත් දන්නේ නෑ. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවෙන් පැරසෙටමෝල් ලබාදෙන්න. ඊට වඩා දෙයක් තියෙනවා නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවෙලා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාදිය හැකි ඖෂධ පමණක් ලබාදෙන්න."

සුබ ගමන් මංගල !!!
හිටපු අමාත්‍ය මහානාම සමරවීර සහ ඛේමා පද්මාවතී සමරවීර යන අයට දාව 1956 අප්‍රේල් 21 දා මෙලොව උපත ලද මංගල සමරවීර වසර 65කුත් මාස 4යි
දින 3ක් ආයු වළඳා අද අවසන් ගමන යන්නේ ඔහුගේ ජීවිතයෙන් පමණක් නොව අපේ කාලයේ දේශපාලනයේ ඉතිරිව තිබූ අවසන් බලාපොරොත්තුවට ද නැවතීමේ තිත තබමිනි.
මාතර රාහුල විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීම ඇරඹූ මංගල සමරවීර කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද පසුව ලන්ඩනයේ වෝල්ටම්ෆොරස්ට් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපන කටයුත සිදුකළේය. පසුව ලන්ඩන්හි ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයෙන් ඇඳුම් පැළඳුම් සැලසුම් සහ තාක්‍ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හිමිකර ගැනීමට සමත් විය. පසුව ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයේ සැලසුම් උපදේශකවරයෙකු ලෙස සේවය කළ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්‍යවරයකු වශයෙන් ද සේවය කළේය.
1983 කළු ජූලියෙන් මෙසිරලක මිනිස් ප්‍රාණීන් විනාශවන අයුරු සියසින් දැක ඊට එරෙහිව සමාජ සංහිඳියාව ගොඩනැගිය යුතු යැයි අපෙක්ෂා සහගතව සිට මංගල සමරවීරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීම අනුව මෙරට දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ විය.
ඒ් 1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර ආසන සංවිධායක ධූරය ලද මංගල සමරවීර එතැන් පටන් අවසන් ගමන් යනතුරාවට තමන්ටමට වූ දේශපාලන ප්‍රතිපත්තියක්, දේශපාලන දර්ශනයක් සහ ඒ වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් සහිත දේශපාලන චරිතයක් විය.
1989 පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මංගල අඛණ්ඩව 2020 දක්වා වසර 31ක් පුරාවට සිය දේශපාලන ප්‍රතිපත්තිය ඛණ්ඩනය කර නො ගත් එකම ප්‍රායෝගික දේශපාලකයා ද මංගලය. එය තවදුරටත් 1989 අප්‍රේල් 03 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සිදුකළ සිය ප්‍රථම පාර්ලිමේන්තු කතාවේ සිට 2020 පෙබරවාරි 20 වෙනිදා මැතිසබේ සිදුකළ අවසන් කතාව දක්වා වූ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා සාක්ෂි දරනු ඇත.
මංගල සමරවීර මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූ අවධිය මෙරට දේශාපාලනය බෙහෙවින්ම ව්‍යාකූල වී තිබිණි. දේශප්‍රේමී බලහත්කාරය හා රාජ්‍ය භීෂණය විසින් තරුණ ජීවිත දහස් ගනනින් නිරපරාදේ රටට අහිමි කළේය. එවන් පසුබිමක පාලම්, බෝක්කු, මහාමාර්ග හෝ ගොඩනැගිලි දේශපාලනය වෙනුවට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකු රටට උවමනාකර තිබුණේය. මංගල සමරවීරගේ දේශපාලන දැක්ම හා දේශපාලන භාවිතාව ප්‍රතිනිර්මාණය වන්නේ එවන් වූ ජනතා අපේක්ෂාවන් සමගය.
රාජ්‍ය භීෂණ සමයේ සියලු ආකාරයේ ඝාතන හා පැහැර ගැනීම්වලට එරෙහිව සටන් සගයකු වූ මංගල සමරවීර මුළුමහත් රටේම රජකළ අවනීතිය අයුක්තිය හා අසාධාරණයට එරෙහිව සනාථ වූ දේශයක් උදෙසා දරුවන් අහිමිව හැඬූ කඳුළින් දිවි ගෙවූ මව්වරුන් එකතු කරමින් “මව් පෙරමුණ“ නම් සංවිධානය ගොඩනැගීය. මංගල සමරවීර සමග මහින්ද රාජපක්ෂ ද එහි සම කැඳවුම්කරුවන් විය.
ශ්‍රී ලංකාව වෙලාගෙන සිටි සිවිල් යුද වතාවරණයට තිත තැබීමේ අරමුණින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය හා එක්ව ජාතින් අතර සාමය ගොඩනැගීම අරමුණු කොට ගත් 'සුදු නෙළුම් ව්‍යාපාරය'ට උරදුන් අතර 'පොතයි ගඩොලයි' හරහා යාපනය පුස්තකාලය ගොඩනැගීමට ද පියවර ගත්තේය.
එසේම මෙරට සංනිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනස්කම් සිදුකිරීමට නොබියව පියවර තැබූ මංගල සමරවීර ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට පියවර ගත්තේය. එසේම එකල නගර අලංකරණයට නව මානයක් එක්කරමින් කොළඹ නගර සංවර්ධනය වගේම මහල් නිවාස ගොඩනැගීමට අවශ්‍ය පියවර තැබීම ද මංගල දේශපාලනයේ සුවිශේෂී මංසලකුණු විය.
එපමණක් නොව අනාගත සංවර්ධන ඉලක්ක කරා යන ගමන වෙනුවෙන් වූ නීල හරිත ආර්ථිකයක් පදනම් කරගත් "Vision 2025" හරහා 'ගම්පෙරළිය', 'Enterprise Sri Lanka' වැනි ප්‍රායෝගික වැඩසටහන් තුළින් මහජනතාවට රටේ අනාගතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු දැල්වීමට සමත් විය.
මංගල සමරවීර දේශපාලන ගමන් මග කෙටියෙන්...
1989/02/15 - පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම
1994/08/16 දින පැවති මහ මැතිවරණයෙන් ජයගෙන දෙවන වරට පාර්ලිමේන්තුවට පත්වීම සහ තැපැල් හා විදුලි සංදේශ කැබිනට් අමාත්‍ය ධූරයට පත්වීම.
පසුව නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍යධූරය ද මුදල් නියෝජ්‍ය ඇමතිධූරය ද හෙබවිය.
2001 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ද විය.
එකල වරාය සහ ගුවන් අමත්‍ය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යධූරයේ ද කටයුතු කළේය.
2005 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කළමනාකරු වශයෙන් කටයුතු කළ මංගල සමරවීර ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.
2007 ජනවාරි මස විදේශ කටයුතු අමාත්‍යධූරය වෙනුවට වරාය ගුවන් අමාත්‍යධූරයට පත්කරන ලද අතර 2007 පෙබරවාරි 07 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මංගල සමරවීර කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කරන ලදී.
පසුව එතෙක් තමන් දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමුදී ශ්‍රීපති සූරියආරච්චි සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන ('ම') පාර්ශවය නිර්මාණය කළේය.
එකල නීති විරෝධී පුද්ගල අතුරුදන් කිරීම්, රාජ්‍ය දේපළ අවභාවිතය සහ හිතුවක්කාරී ආණ්ඩු පාලනයට එරෙහිව කටයුතු කළ මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිය දේශපාලනය ඉදිරියට ගෙන ගියේය.
ඒ අනුව එතෙක් පැවැති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව කටයුතු කළ මංගල සමරවීර 2015 ජනවාරි 08 ඵෙතිහාසික දේශපාලන ජයග්‍රහණයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළේය.
පසුව නැවතත් විදේශ කටයුතු අමාත්‍යධූරයට පත් වූ අතර පසුව මුදල් අමත්‍ය ධූරය ද සමග ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කළේය.
මේ රට දියුණු සංවර්ධිත රටක් වශයෙන් ගොඩනැගීමට නම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව මත පදනම් වූ සංවර්ධනයක් සිදුකළ යුතු බව කවදත් විශ්වාස කළ මංගල සමරවීර මහතා ඒ කාර්යය ඉටුකිරීමට මේ පවතින දේශපාලන පක්ෂ හා තවදුරටත් කටයුතු කිරීමෙන් ඵලක් නොවන බව තේරුම් ගැනීමෙන් පසු 2020 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුව සිය තීරණය වෙනස් කොට පාර්ලිමේන්තු දේශපාලනයට තිත තැබුවේය.
ඉන් පසුව මේ රටේ දේශපාලනයේ සැබෑ වුවමනාවන් සහිත පුද්ගල හා කණ්ඩායම් ඒකරාශී කරගනිමින් සැබෑ දේශප්‍රේමීන් නමින් නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට උරදුන්නේය. එසේම අපේක්ෂාවන්ගෙන් පිරුණ තරුණ තරුණියන් හා එක්ව සිය ජීවිතයේ අවසන් හුස්ම පොද මිහිතලයට මුදාහරින මොහොත දක්වා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මේ රටට සුගතියක් අත්කරදීමේ පරම අභිලාශය වෙනුවෙන් සිය කාලය, ධනය, ශ්‍රමය කැපකළ අපේ කාලයේ සමකල නොහැකි අපූර්ව දේශපාලන චරිතයකි මංගල සමරවීර.
https://www.newstube.lk/news?start=7812#sigProId073eda32e2

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

කොවිඩ් මරණ 194 ක් : 145ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන්.....
තවත් කොරෝනා මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 103 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 91 දෙනා පිරිමි පුද්ගලයින් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 49 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 145 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (23) වාර්තා කරන ලද මෙම මරණ 194 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රශ්න කිරීම් : පොලිස්පතිට ලිපියක් !
මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීමට අදාළව මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධාන 6ක් විසින් පොලිස්පති සී.ඩී . වික්‍රමරත්න වෙත කරුණු පැහැදිළි කරමින් ලිපියක් යොමුකර ඇත.
එහිදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක, සිදුවීමටට අදාල සමස්ත නිරවද්‍ය තොරතුරු සමාජ ගත කරන මෙන්ද නෛතික විධිවිධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරන මෙන් ඉල්ලා ඇත.
එසේම ප්‍රශ්න කිරීමට ලක්වූ තුෂාරා වන්නිආරච්චිගේ සිදුවීම, එසේම තමිලන් පුවත්පතේ කර්තෘ ආර්. සිවරාජා පදිංචි නිවෙසට රහස් පොලීසියෙන් යැයි කියා කිසියම් පිරිසක් ඇතුළු වන්නට උත්සාහ ගෙන තිබීම, මඩකලපුවේ මාධ්‍යවේදියකුගෙන්ද ප්‍රශ්න කිරීමක් සිදුවීම යන මෑත කාලීන සිදුවීම්වලද පසුබිම පැහැදිලි නොවන අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සමාජ ගත කිරීම සෑම අතින්ම යහපත් බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇත.
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිට යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

බිමල්ගේ චෝදනාව මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි !
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , බිමල් රත්නායක විසින් පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා කර සිටියේ විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට ඔහු තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙනවාද යන්න රටට ප්‍රකාශ කළ යුතු බව පවසමින්ය
හිටපු මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කර සිටියේ පසුගියදා ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර සිල්වා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි.

විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : පොහොට්ටුවෙන් නිල චෝදනාවක් !
කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ , උදය ප්‍රභාත් ගම්මන්පිල ඇතුළු පිරිසක් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක නිරත බවට ආණ්ඩු පාර්ශවය විසින්ම බරපතළ චෝදනාවක් එල්ලකර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් අද (23) එම පක්ෂ මුලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරින.
සති තුනකට රට වසන ලෙස පසුගියදා ආණ්ඩු පක්ෂ සන්ධානයේ පක්ෂ 10ක් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය ජාත්‍යන්තර බළල් අතක මෙහෙයවීමක් අනුව සිදුව ඇති බවට එහිදී පැහැදිලි සැකසංකා මතුකෙරිණ.
ජාත්‍යන්තර බලවේග ආණ්ඩුවේ පාර්ශව බිලිබා ගනිමින් ඇති බවත් රට වැසීම සඳහා පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ ලිපිය ඒ අනුව ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවක් බවට එහිදී ලොකුගේ අමාත්‍යවරයා සෘජුවම චෝදනා කර සිටියේය.
කැබිනට් මණ්ඩලයේ එකට සිට රට වසා දමන ලෙසට කිසිවක් ප්‍රකාශ නොකොට එළියට විත් රට වසා දමන ලෙසට විමල් වීරවංශ මහතා ඇතුලු ආණ්ඩුවේ කොටසක් ලිපි ලිවීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවත් මේ සම්බන්ධව දැඩි පියවර ගන්නා ලෙසද ඔවුන් විසින් ජනාධිපති වෙතින් ඉල්ලා සිටින ලදී.

දින 10ක් රට වහලා තේරුමක් නෑ - විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
කොරෝනා වෛරසයේ බීජෞෂණ සමය පිළිබඳව විද්‍යාත්මකව සලකා බලන විට දින 10ක් රට වැසීම ප්‍රමාණවත් නොවන බවත් වසර 21ක් වසංගත රෝග පාලන ඒකකයේ කටයුතු කළ වෛද්‍යවරුයකු ලෙස තත්ත්වය පාලනය කර ගැනීමට නම් තවත් දින 10ක් ඇඳිරි නීති තත්ත්වය දීර්ඝ කළ යුතු බව තමාගේ අදහස බව වසංගත රෝග ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.
ඔහු පවසන්නේ, තමන්ගේ පමණක් නොව අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයද එයම බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය,
එන්නත්කරණය යනු ගෝලීය වසංගතයට ඇති එකම විසදුම නොවන බවත් මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කළේය.
මේ අතර අවුරුදු 60 වැඩි ජේෂ්ඨ පුරවැසියන් ඇන්ටිජන් පරීක්ෂණ නැවත නැවත කර ගත යුතු බවට කවුරුන් හෝ ජනාධිපතිවරයාට වැරදි උපදෙස් ලබා දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 ක් එයි !
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙනවිත් ඇත.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට (24) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.
මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඊට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අගෝස්තු මාසය අවසන්වීමට පෙර මෙරටට ලැබීමට නියමිත බවය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සදහන් කළේ, මේ වනවිට චීනය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98ක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවය.
එය මෙරට එන්නත් කළ යුතු ජනගහනයෙන් සියයට 95ක ප්‍රතිශතයක් බව චීනා තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මේ වනවිට මෙරට පුද්ගලයින් 01 කෝටි 20 ලක්ෂ 88,864 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊට අමතරව පුද්ගලයින් 56 ලක්ෂ 20,254 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබේ.
මේ අතර වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබානොගත් සියලු පුද්ගලයින් පිළිබඳ අද දිනය තුළ තොරතුරු ලබාගැනීමට රජය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වෙයි.
ගම්මට්ටමින් අදාළ තොරතුරු ලබාගෙන ඉදිරි සතිය තුළ වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරෝනා මරණ 183 ක් : 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර
කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,366 කි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 107 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 76 දෙනා කාන්තාවන් ය.
අද දිනයේ වර්තා වූ කොවිඩ් මරණ අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන් දෙදෙනකු ද වේ.
ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 62 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 10වන ස්ථානයේය.

ආනන්ද පාලිත ඇප මත මුදා හැරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ( CID) අත්අඩංගුවට පත්, ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.
ආනන්ද පාලිත ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් ලංකාවේ : ඉක්මනින් එන්නත ගන්න !
ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.
ඇය මේ බව සඳහන් කර සිටියේ අද(22) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්ය.
එහිදී මහාචාර්යවරිය සඳහන් කළේ , මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.
මෙම සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනද අදහස් දැක්වූ අතර ඒ , දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව පවසමිනි.
එන්නත් තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති මධ්‍යස්ථානයෙන් එන්නත්කරණයට යොමුවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
එන්නත් නොගෙන පසුතැවෙන්න එපා !
මේ අතර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, එන්නත ලබා ගැනීමට ප්‍රමාදවීම, පසුතැවිල්ලට හේතු විය හැකි බවය.
ඔහු මේ බව පැවසුවේ, අද(22) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කලේ , නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති මෙවැනි රටක් තුළ එන්නතකරණය සඳහා අවස්ථාව ලබා දී ඇති විට එය නොගැනීම පසුකාලීනව පසුතැවීමට සිදු වනු ඇති බවය.
එම නිසා දෙමව්පියන් එන්නතකරණය සඳහා යොමු කිරීම දරුවන්ගේ යුතුකම බවත් පැවසීය.

එන්නත් ලක්ෂ 20ක් අතුරුදහන් !
කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් එන්නත්කරණ වැඩපිළිවෙළේ දත්ත බාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් ජනතාවට ලබා දී ඇති බවත් එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය ඇතීවී ඇති බවත්ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත්කරණයේ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක පහක කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් 7000 - 8000 එක් සෞඛ්‍ය කොට්ඨාසයක් සිදු කරන විට අනෙකුත් රාජකාරි සමඟ එය නිසි ලෙස සිදුකිරීමට ප්‍රායෝගික අපහසුතා ඇති බවත් ඔහු පැවසීය. විශේෂයෙන් අවශ්‍ය ලැප්ටොප් පරිගණක, අමතර කාර්ය මණ්ඩල නොමැති නිසා එක් සෞඛ්‍ය පරීක්ෂකවරයකු හට දැරීමට නොහැකි රාජකාරි ප්‍රමාණයක් මේ දිනවල සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් එම එන්නත් සියල්ල රටේ ජනතාවට ලබා දී ඇති නමුත් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
(දේශය )

මරණ 198ක් : ආසාදිතයන්ගේ දෛනික වැඩිවීමත් ඉහළට !
නව කොවිඩ් ආසාදිතයින් 3,884 දෙනෙකු ඊයේ (21) මෙරටින් හඳුනාගනු ලැබුණු අතර මේ ආකාරයට දෛනික ආසාදිතයින් 3500 සීමාව ඉක්මවා ගියේ අඛණ්ඩව 5වන දිනට බව සෞඛ්‍ය අංශ නිල දත්ත සටහන් සාක්ෂි දරයි.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශය ඉකුත් 20 වැනිදා පස්වරුවේ අමතර ආසාදිතයින් 4,808 දෙනෙකු සිය දත්තවලට එක්කර තිබුණි.
ඔවුන් පවසන්නේ මෙම ආසාදිතයින් 4,808 දෙනා පසුගිය අගෝස්තු 16,17,18 සහ 19 යන දිනවලදී ප්‍රමාද වී වාර්තා කරන ලද දත්ත බවය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 385,696 දෙනෙකු දක්වා ඉහළයනු ලැබිණ.
තවද කොවිඩ් ආසාදිත මරණ 198ක් ඊයේ (21) ප්‍රකාශ කෙරුණු අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,183කි.
එසේම මේ වන විට ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සංඛ්‍යාව 323,390කි.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 55,123ක් වෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 20 ලක්ෂ 88,864කි.
මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 56 ඉක්මවා තිබේ.

තෙල් පෝලිම් ගැන කියූ : වෘත්තීය සමිති නායක අත්අඩංගුවට !
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍ය , පාලිත රංගේබණ්ඩාර පවසයි.
අද (21) අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවත් ඔහු පවසයි.
පසුගිය 19 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසා තිබුනේ රට තුළ ඉන්ධන හිගයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, මේ වන විට ඩීසල් සංචිත දින 11 කට සහ පෙට්‍රල් සංචිත දින 10 කට පමණක් ප්‍රමාණවත් බවයි.
ඒ සම්බන්ධව දෙරණ මාධ්‍ය නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.
කෙසේවුවත් මේ වෘත්තීය සමිති නායකයාගේ ප්‍රකාශයට පසුව ඛනිජ තෙල් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ ට්වීටර් සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබිණ.

ඖෂධ වර්ග 60ක සහ වෛද්‍ය උපකරණ මිල සංශෝධනයක්
ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව , 2019 මැයි 15 දින අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස සංශෝධනය කර තිබේ.
මේ අතර අදාළ එම ගැසට් පත්‍රයේම සඳහන් වෛද්‍ය උපකරණයන්හි ද මිලට සංශෝධනයක් සිදුව ඇත.
සංශෝධිත නව අතිවිශේෂ ගැසට් නිවේදනය පහත සදහන් වේ.

ලොක්ඩවුන් ලකුණු වෙනස් කරන්න : ආණ්ඩුව අස්සේ කැම්පේන් එකක් !
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ මෙරට ව්‍යාප්තිය සීග්‍රවීමත් සමඟ ඉහල ගිය මරණ සහ ආසාදිතයන් ප්‍රමාණය පාලනය කරගැනීම සඳහා තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීම අදාළ ගෞරවය කාටද යන්න සම්බන්ධව ප්‍රචාරණ යුද්ධයක් ආණ්ඩු හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ සඳහා මේ වන විට රට ලොක්ඩවුන් කිරීමට මැදිහත්වීම ගැන මහ නායක හිමිවරුන්ට ස්තුති කිරීම, මහ නායක හිමිවරුන්ගේ වචනයට ගරු කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රධානීන්ට ස්තුති කරන ආදී ලෙස ප්‍රකාශ සමාජ ගත කිරීමේ වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුව ඇත.
ඒ සඳහා මේ වන විටත් සමහර ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ පටිගත කරගෙන ඇති බවටත් වාර්තා වෙයි.
දැනගන්නට ඇති ආකාරයට මේ ආකාරයට ප්‍රකාශ රැසක් සමාජ ගත කිරීමට සැළසුම් කර ඇති හේතුව වන්නේ, මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමට බලපෑම කල පාර්ශවයන්ට ජනතා ප්‍රසාදය පළවීම වළක්වාලීම සඳහාය.
සැබවින්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සිට සියලු වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කල සියලුම වෘත්තීය සමිති පොදුවේත්, තනිවත් මාසයකට ආසන්න කාලයක් තිස්සේ රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. විශේෂයෙන් ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති පළමුව නිහඬ පිළිවෙතක සිටි නමුත් පසුව, දිනපතා ආසාදිතයන් වැඩිවන විට, මරණ ප්‍රමාණය 200 කට ආසන්න ලෙස දෛනිකව වාර්තා වන විට තාවකාලික ලොක්ඩවුන් කිරීමක් අවශ්‍ය බව සඳහන් කෙරිණ.
එහිදී ආණ්ඩුවේ ස්ථාවරය වූයේ කොරෝනා මැඩීමට විසඳුම එන්නත බැවින් කඩිනමින් එන්නත්කරණය ඉදිරියට ගෙනයන නමුත් කිසිසේත් රට වහන්න සූදානමක් නොමැති බවය.
එහෙත් දිනපතා ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා විය, දෛනිකව එතෙක් වාර්තා වූ වැඩිම මරණ වාර්තා අලුත් වූ අතර පවතින තත්ත්වය හමුවේ රෝහල් ධාරිතාවද අවධානමට වැටිණ.
ආණ්ඩුව කළේ නැත්නම් අපි රට ස්වයං ලොක්ඩවුන් කරනවා - වෘත්තීය සමිති !
එහිදී සියලු වෘත්තීය සමිති ආණ්ඩුවට බලකර සිටියේ වහාම දින 14 ක තාවකාලික ලොක්ඩවුන් කිරීමක් හරහා සෞඛ්‍ය අංශ ඉල්ලන සහනය ලබාදෙන ලෙසය. එහිදීද ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් පෙන්වූ තැන මෙරට විශාලතම වෘත්තීය සමිති සන්ධානගත වෙමින් ආණ්ඩුවට බලකර කියා සිටියේ 20 වන සිකුරාදා වන විට තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළොත් 23 සඳුදා සිට දින 14 කට රටම ස්වයං ලොක්ඩවුන් කිරීමකට ලක්කරන්න තමන් මැදිහත් වන බවය.
එය එක්තරා ආකාරයට යහපත් සංඥාවක් නොවන්නේ, විධායකය ගතයුතු තීන්දුවක් වෘත්තීය සමිති ගැනීම තුල රට අභ්‍යන්තරයේ කිසියම් අරාජිකත්වයක පවා සංඥා සඳහන් වන නිසාය. එම කටයුත්ත තවත් බරපතළ වුයේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය ඇතුළුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ නොවන සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ කටයුත්තට ප්‍රසිද්ධියේ සහය දක්වා සිටීමය.
එම පක්ෂ නියෝජිතයන් මාධ්‍ය හමු පවත්වමින් දිගින් දිගටම ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත චෝදනා කර සිටියේ, වෛද්‍ය නිර්දේශ අනුව ආණ්ඩුව තීන්දු තීරණ නොගන්නා නිසා මරණ ප්‍රමාණය පවා වැඩිවන බවත් ඒ සියලු මරණ වලට බලධාරීන් වගකිව යුතු බවත් පවසමින්ය. එසේම ලංකාවේ තත්ත්වය බරපතළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කමිටු වාර්තා පවා අනතුරු ඇඟවූ අතර සංචරණ සීමා පැනවීමේ සහ ක්‍රියාත්මක වන ස්වභාවයේ වෙනසක් සිදුනොකළහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 30,000ක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පුරෝකථන පවා ඉදිරිපත් කෙරිණ.
මේ කාලය තුළත් ආණ්ඩුවේ ප්‍රධානීන් සෞඛ්‍ය අංශ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බරපතළ ලෙස චෝදනා ලැබීය. අවසානයේ ඊයේ (20) වන විට පැවතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් නොගත් පසුබිමක, වෙළඳ සංගම්, වෘත්තීය සමිති, ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂ සියල්ල එකතුව මර බිය නිසා ස්වයං ලොක්ඩවුන් වන තත්ත්වයකි.
එය ආණ්ඩුවේ දේශපාලන අනාගතයට අහිතකරය. එසේම ස්වයං ලොක්ඩවුන් වීම නීති විරෝධී කියන්නටද නොහැකිය. කෙසේවත් ලොක්ඩවුන් නොකරන කතා සමඟ වහසිබස් දෙඩු නිසා , කුමන තත්ත්වයේ වුවත් ලොක්ඩවුන් එකකට යාම මදිපුංචිකමක් ලෙස සලකන බවක් ආණ්ඩුව පැත්තෙන් පෙන්නුම් කෙරිණ.
එහෙත් නගර - ප්‍රදේශ 50 කට ආසන්න සංඛ්‍යාවක වෙළඳ සංගම් ඒ වන විටත් ස්වයං ලොක්ඩවුන් කිරීම් ප්‍රසිද්ධ කර නගර වල කටයුතු නවත්වා පෙන්වා තිබිණ. එනිසා 20 ආණ්ඩුව තීන්දුවක් ගත්තත් නැතත් රට වැසීමේ අවධානමක් පෙනිණ.
විමල්ලා කරපු වැඩේ හොඳයි : නැත්නම් සේරම ලකුණු වෘත්තීය සමිති සහ විපක්ෂයට !
ලීඩර් වෙබ් අඩවිය සිය youtube චැනලය ඔස්සේ අනාවරණය කර සිටියේ, ආණ්ඩුවේ පක්ෂ 10 එකමුතුව විසින් ජනාධිපතිට ලිපියක් යොමුකර සති 3 කට රට වහන්න ඉල්ලුවේ ඒ දේශපාලනය දැනගෙන බවය. අමාත්‍ය විමල් වීරවංශ ඒ ලිපිය ලියා ඇති බවත් ,එහි වාර්තා කර තිබිණ.එසේම පක්ෂ 10 නායකයන් එය අත්සන් කර ජනාධිපතිට යොමුකිරීම , ජනාධිපතිව බිත්තියට හේත්තු කිරීමක් වුවත්, එය ලොක්ඩවුන් දේශපාලන වාසිය මුළුමනින්ම විපක්ෂයට සහ වෘත්තීය සමිති වෙත යාම වැළක්වූ මැදිහත්වීමක් බැවින් අගමැතිවරයාගේද පැසසුමට හේතුවූ බවක්ද අඟවා තිබිණ.
දින 7කට ලොක්ඩවුන් එකක් : කාටද ? මොකටද ?
කෙසේ වුවත් පසුව මහනායක හිමිවරුන් ඉදිරිපත් කළ සතියකට රට වැසීමේ යෝජනාවත් ආණ්ඩුවේ පාර්ශව විසින් සකස්කර දී මහ නායක හිමිවරුන්ගේ අනුමැතියෙන් ප්‍රසිද්ධ කර ඇති බවට කතාවකුත් එහිදී කියවිණ. ඒවායේ ඇත්ත නැත්ත කුමක් වුවත් සතියකට රට වැසීම කොරෝනා සම්බන්ධව නම් විද්‍යාත්මක යැයි පැවසිය නොහැක. ඒ මේ වෛරසය සමඟ ගනුදෙනු බේරා ගන්නට අවම කාලය සති 2ක් නැතිනම් දින 14ක් යන බව ලෝක සම්මතය නිසාය. ඒ අනුව දින 7 යෝජනාව වඩාත් සමීප වන්නේ, කොහෙත්ම රට ලොක්ඩවුන් කල නොහැකි බව පවසා සිටි පාර්ශවයටය. නැතිනම් කොහෙත්ම බෑ කියන දෙය දින 7 කට සලකා බලන්නම් කිවහැකි පාර්ශවයටය.
ඒ අර්ථයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥයන්, වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන පක්ෂ, කණ්ඩායම් කියූ නිසා නොව මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම නිසා දින 10 කට තාවකාළිකව රට වැසීමේ නම්බුව ආණ්ඩුවට බේරා ගැනීමට ලැබුණු බව කෙනෙකුට සිතිය හැකිය.
ජනාධිපති ගැන නොහිතන කැම්පේන් !
නමුත් දැන් වාර්තා වන්නේ, මේ රට වැසීමේ ඒ ජනතා ප්‍රසාදය ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10 වෙත හෝ යාම වැළක්වීමේ කටයුත්තක් දියත්ව ඇති බවය. වැඩි වැඩියෙන් භික්ෂුන් වහන්සේලා සහ රට වැසීමට මැදිහත්වී සිදුකළ කාර්ය ගැන මහ නායක හිමිවරුන්ට සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ස්තුති කරන "වොයිස්කට්" මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඒ සඳහාය. කොරෝනා මර්දනය, මරණ අවම කරගැනීම සහ ආසාදිතයන් අඩුකර ගනිමින් මේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කරගැනීමට වඩා මේ අයට වැදගත් "ලොක්ඩවුන් ලකුණු" පාලනය කිරීමය. එය තමන්ට නැත්නම් ආණ්ඩුවේ අනෙක් පාර්ශවයකටවත් ඉතිරි නොකිරීමය.
නමුත් ප්‍රශ්නය ඇත්තේ, ජනාධිපති ලොක්ඩවුන් දීර්ඝ වුනොත් කැපකිරීම් කරමු කියන යෝජනාව පවා මේ හමුවේ අවධානමේ වැටීමය. දීර්ඝ කාලයක් ලොක්ඩවුන් වුණොත් රටට සිදුවන ආර්ථික හානිය ගැන වාදයක් නැත. ඒ ගැන ජනාධිපති රටට අවධාරණය කිරීම අතිශය වැදගත් ය. ප්‍රශ්නය ඇත්තේ, සැවොම කැපකරන , කැප කිරීම් සඳහා ජනතාව සූදානම් කරන ජනාධිපතිගේ වෙහෙසත් මේ කොහෙවත් යන කැම්පේන් අප්පුහාමිලා නිසා අපතේ යාමය. ඇත්තටම ඒ කැම්පේන් අප්පුලා හිතන්නේ, ගෝඨාභය ජනාධිපති ගැනද නැත්නම්, 2024 ට පස්සේ ඔවුන්ගේ ඔලුවේ ඇති වෙනත් දෙයක් ගැනද ?
Page 435 of 462