පුවත්

අස්වැසුමට බොරු කළ 7000ක් දොට්ට !
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වන අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එමෙන්ම සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
අස්වැසුම මුල් අදියර සඳහා පවුල් ඒකක ලක්ෂ 34ක ප්‍රමාණයක තොරතුරු සහතික කිරීම සිදු කෙරුණා. ඒ අනුව මේ වන විට පවුල් ලක්ෂ 19ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා. දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා පදනම් කරගනිමින් සුදුසුකම් ලැබූ අය සඳහා 2024 ජූලි මාසයේ සිට ගෙවීම් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සූදානමින් සිටිනවා.
අපට අභියාචනා සහ විරෝධතා 12,27,000ක් ලැබී තිබෙනවා. ඉන් 11,97,000ක් පමණ පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර තිබෙනවා. මෙම ප්‍රමාණයට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය සැබවින්ම ලැබිය යුතු පිරිසකට නොලැබී තිබෙනවා. පළමු වටයේ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ දී එම පිරිස් ඉල්ලුම් පත්‍ර ලබා නොදීම ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය නොලැබීමට හේතුවක් වී තිබෙනවා.
ඒ අනුව අප විසින් මාර්ගගතව සිදුකළ පුළුල් දැනුවත් කිරීමෙන් පසු දැනට අයදුම්පත් 200,000 – 250,000ත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය මාර්ගගත ක්‍රමය ඔස්සේ අපගේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ අනුව දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් පසු අවසන් වනවා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකුට අස්වැසුම ප්‍රතිලාභය ලැබීමේ කිසිදු සුදුසුකමක් නැති බව ද අවධාරණය කළ යුතුයි.
එමෙන්ම අලුතින් ඉල්ලුම් කරන අයගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කිරීමෙන් පසු 2024 ජුනි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24ක් දක්වා අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම වැඩි කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 205ක මුදලක් වැය කිරීමට අප බලාපොරොත්තු වනවා. එහි ප්‍රතිපාදන වෙන් කිරීම මේ වන විට සූදානම් කර අවසන් බව ද පැවසිය යුතුයි.
ඒ වගේම මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙනවා. ඔවුන් විසින් ප්‍රතිලාභ ලබා ගෙන ඇත්තේ සාවද්‍ය තොරතුරු ලබාදීමෙන් බවට තහවුරු වී තිබෙනවා. එවැනි පුද්ගලයන් පිළිබඳව අපට මේ විට තොරතුරු ලැබෙමින් පවතිනවා. එලෙස ඔවුන් හඳුනා ගැනීමෙන් පසු පනත ප්‍රකාරව නැවත ඔවුන්ගෙන් මුදල් අයකරගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අප සූදානම් වන බව පැවසිය යුතුයි.

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට වැඩපිළිවෙලක් !
ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) පස්වරුවේ කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023” උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි. සාර්ක් කලාපයේ කාන්තාවන්ට විශේෂ අංශයකින් තරග වැදීමේ අවස්ථාව ද සලසා තිබිණ.
සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් ජාතික මට්ටමින් විශිෂ්ට ව්‍යවසායිකාවන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.
සාර්ක් අංශයේ සම්මාන ප්‍රදානය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අතින් සිදු වූවාය.
ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නැංවීම සහ ප්‍රධාන ව්‍යාපාරික කටයුතුවලට කාන්තාවන් ඇතුළත් කර ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ව්‍යාපාරික කාන්තාවන් සඳහා වූ ජාතික වාණිජ මණ්ඩලය(WCIC) 1985 දී වසරේදී පිහිටුවන ලදී.
වෘත්තීයවේදිනියන් සහ තමන්ගේම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ වු ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මේ වන විට සාමාජිකත්වය 300කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
සම්මාන ලබාගත් සියලුදෙනාට පළමුවෙන්ම මම සුබ පතනවා. ඒ වගේම මීට සහභාගී වූ සියලුම දෙනාට ප්‍රශංසා කළ යුතුයි. පසුගිය වසර කිහිපය අපට පහසු කාලයක් වුණේ නැහැ. එය ව්‍යාපාරිකයන් ඇතුළු අප සියලුදෙනාට දුෂ්කර කාල පරිච්ඡේදයක් වුණා. නමුත් එම ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ වුවද තම ව්‍යාපාර සිදුකරගෙන යාමට ඔබ ගත් උත්සාහය ප්‍රශංසනීය බව කිවයුතුයි.
මෙම 2024 වසරේ යම් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පසුගිය වසරේ අවසාන කාර්තු දෙක තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. නමුත් එය 2018 වන විට පැවති ආර්ථික වර්ධන වේගය මට්ටමට තවමත් පැමිණ නැහැ.ඒ සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතියි.
පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන පළමු වසර මෙයයි. ඒ වෙනුවෙන් දුෂ්කර තීන්දු තීරණ ගැනීමට අපට සිදු වුණා.
සියලුදෙනාට ජීවත්වීමට හැකි ආර්ථික පරිසරයක් අප රට තුළ නිර්මාණය කර ගත යුතුයි. මුදල් මුද්‍රණය කිරිමට හෝ ණය ගැනීමට දැන් අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට බදු එකතු කිරීමට සිදු වුණා. රුපියල ශක්තිමත් කිරීම සහ උද්ධමනය පහත හෙළීම ද අපගේ අරමුණ වී තිබෙනවා.
පැරැණි ආර්ථික ක්‍රම මත තවදුරටත් මේ රට ඉදිරියට ගෙන යා නොහැකියි. ඒ නිසා අප රට තුළ කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. නව ආර්ථික ක්‍රමවේදයක් හරහා රට ගොඩනැඟිය යුතුයි.එහිදී රට තරගකාරී අපනයන ආර්ථිකයක් කරා ගෙන යා යුතුයි. ඒ වගේම ව්‍යාපාරිකයන්ට රජයක් ලෙස උපරිම සහාය ලබාදීමට අප අපේක්ෂා කරනවා. එම නිසා මේ වසර අවසානය වනතුරු පරාටේ නිතිය කල් දැමීමටද කටයුතු කර තිබෙනවා.
කාන්තා ව්‍යවසායකයන් අද මෙරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. මේ අයට අවශ්‍ය සියලු සහාය ලබාදීමට රජය කටයුතු කරන බව ද කිවයුතුයි.
ඒ වගේම කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමට ඔබ සංගමය ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. කාන්තාවන් බලගැන්ම තුළින් මෙරට ආර්ථිකය සැලකිලිමත් ලෙස වර්ධනය කළ හැකි බව අප විශ්වාස කරනවා. ඒවගේම කාන්තාවන් ව්‍යාවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙළ ද රජය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගිමේදී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි.එබැවින් රටේ ආර්ථික පරිවර්තනයට කාන්තාවන්ගේ දායකත්වය අවශ්‍යයි. ඉදිරියේදී ඇතිවන ඩිජිටල් ආර්ථිකය හා හරිත ආර්ථිකයට අනුගත වියහැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරීමට රජය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
අද කාන්තාවන් බොහෝ පිරිසක් කුඩා, මධ්‍යම සහ මහ පරිමාණ ව්‍යාපාරවල නියැළී සිටිනවා. ඒ වගේම මේ වන විට අප රටේ සංචාරක කර්මාන්තය සැලකියයුතු ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ශක්තිමත් ව්‍යවසායකයන් බිහි කළ හැකියි. සංචාරක ව්‍යාපාරය විධිමත් ලෙස සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සේවා සපයන ව්‍යවසායකයින් වෙනුවෙන් සහාය දැක්වීමට රජය සූදානම්. සංචාරක ව්‍යාපාරයේ එක් පුද්ගලයකුගේ දෛනික ආදායම ඩොලර් 500ක සීමාවටවත් ගෙන ආ යුතුයි. ඒ සඳහා කාන්තා වාණිජ මණ්ඩලයටද වගකීමක් තිබෙනවා.
කෘෂිකර්ම ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගැනීමටද රජය සැලසුම් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍රවලට අදාළව ව්‍යවසායකයින්ට ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇති වනු ඇතියි. ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යනවිට අපත් ඒ සමඟ ඉදිරියට යා යුතුයි. අපට එකතැන නැවති සිටිය නොහැකියි. එම නිසා නව තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමග ආර්ථිකය ගොඩනැගිමේ පදනම දැනටමත් අප දමා තිබෙනවා. එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ස්ථානයකට ඔසවා තැබිය හැකියි.
ඒවගේම රටේ ආර්ථිකය ගොඩනැගිමට අවශ්‍ය අඩිතාලම අප දැනටමත් දමා තිබෙනවා. ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට සින්නක්කර ඔප්පු ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එම ඉඩම් අයිතිය ලබා ගන්නා ලක්ෂ 20ක ජනතාවගේ ආදායකත්වය ආර්ථිකයට ඍජුවම ලැබෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය නවීකරණයට ද ඔවුනගේ සෘජු දායකත්වය ලබා ගත හැකියි. මෙම සියළු වැඩපිළිවෙළ තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමට හැකියාව තිබෙනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චැංග්, පාකිස්තාන මහ කොමසාරිස් එච්.ඊ. ෆහීම් උල් අසීස්, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති අනෝජි ද සිල්වා, සම ලේකම් තුසිතා කුමාරකුලසිංහම් සහ චිත්‍රාංජලී දිසානායක යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහ බැංකුවේ පඩි වැඩි කළ හේතුව මෙන්න !
රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.
ඉන් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කළේය.
මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිත බවත් සිය වෘත්තිමය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග සකසා ගැනීමට නොහැකිවන අන්දමේ නීතිමය බාධක සහ තවත් සීමාකාරී සාධක පවතින බවත් විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.
මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති සහ පාලක මණ්ඩලය එළඹී 2024-2026 සාමූහික වැටුප් ගිවිසුමට යටත්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්ව බැඳී සිටින බවද එම සංගමය සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට බලපෑමකින් තොරව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට තරඟකාරී වැටුපක් හිමිවිය යුතු බවද එම සංගමය පැවැසුවේය.
බුද්ධි ගලනය නැවැත්වීමට ගත් මෙම පියවරට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැති බවත් එම සංගමය පැවැසුවේය.
(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)

බලය ගැනීමත් රට ගොඩනැගීමත් අභියෝගයක් : 2005 ගැන අනුරගෙන් පාපෝච්චාරණයක් !
බලය ලබාගැනීම මෙන්ම බලය ලබාගත් පසු රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි .
එසේම ඔහු අනෙකාට එරෙහිව ආණ්ඩු තැනූ උපායමාර්ගික එළැඹුම නිවැරදි නොවන බවද සඳහන් කළ අතර , ජවිපෙ සෘජු මැදිහත්වීමක් සිදුකළ 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟීම වරදක් ලෙස නොකියා පිළිගැනීම ද විශේෂත්වයක් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ බැංකු සහ මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි .
එහිදී ඔහු මෙසේද පැවසීය.
අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාට පසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිව. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.
අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා. මේ පතුලේම සිටින ජනතාව මේ කාර්යයට යොදවා ගන්නේ කෙසේද කියන අභියෝගය අපට තිබෙනවා. සමාජයේ යම් උඩ තලයක සිටින අය අපට සමීප නැහැ. ඔවුන්ට අපේ කතා දැනෙන්නේ නැහැ.
ඒ නිසා අපි සිය වතාවකට වඩා පිළිතුරු දී ඇති ප්‍රශ්න තවත් ඔවුන්ගේ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. අපට ගැටෙන්නේ නැති අවධානය නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම වෙත අපේ මතය ගෙන යන්නේ කොහොමද කියන එක අපේ අවධානය යොමු විය යුතු වෙනවා. එය අපේ දෙවැනි අභියෝගයයි. ඒ කණ්ඩායම වෙත මගේ අවධානය යොමු කිරීමට මම උත්සාහ ගන්නවා.
අනුර ගේ පාපෝච්චාරණය සාධනීයයි !
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් newstube හිටපු සංස්කාරක මෙසේ අදහස් දැක්වීය.
" අනුර දිසානායක නායකතුමා ගේ මේ ප්‍රකාශය පොසිටිව් විදිහට ගන්න ඕන . මොකද ඔහු මෙතන අවිඥානික ලෙස හෝ ඇත්ත කියනවා. සමාජ මාධ්‍ය ඇතුලේ කමෙන්ට් ආම් හදලා ගේම ගැහුවට බිම් මට්ටමේ අභියෝගය එහෙම්ම තියෙනවා . දැන් පේන්න තියෙන විදිහට වම සහ ජාතිකවාදී අනුර එක් කඳවුරක ජනාධිපති අපේක්ෂකත්වය නියෝජනය කරනවා.ඒ වගේම විපක්ෂ නායක සජිත් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දකුණ, එහෙමත් නැත්නම් ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය කඳවුරේ තරගයක නිරත වෙනවා. දැනට පේන්න තියෙන ආකාරයට ජනාධිපති රනිල් පියවරෙන් පියවර දකුණේ අපේක්ෂක වෙන්න එනකොට සජිත් අනුර වෙන්න උත්සාහ කරනවා. මෙතැන පොහොට්ටුවේ බහුතරය ජනාධිපති රනිල් ට ගියොත් දකුණේ අපේක්ෂකත්වය ඔහුට හිමිවීම වලක්වන්න බෑ. මොකද සජිත් සජබ - එජාප පදනම් බිඳගෙන වාම ජාතිකවාදී ප්‍රතිපත්තියක් වෙත පල්ලම් බසිමින් සිටින නිසා. ඒ අවබෝධය අනුව ඊළඟ ජනාධිපතිවරණ සටන ජාතිකවාදී වම සහ ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇතිවෙනවා.
මේ කියන බෙදීම ඇතුලේ තමයි අනුරට පේන්නේ බලය ගැනීම වගේම බලය ගෙන රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක කියලා .
ජාතික ජනබලවේගය බලය ගත්තොත් බදු අඩු කරන්න ඕන , වැටුප් වැඩි කරන්න ඕන , දැන් තියෙන IMF සමග වන වැඩසටහන වෙනුවට විකල්පයක් ගේන්න ඕන , ඒකට IMF එකඟ වෙන්න ඕන , එහෙම නැති වුණොත් ආයෙත් 2022 තැනට ගිහින් විදෙස් සංචිත අර්බුදය විසඳීමට සැලසුම් කරන්න ඕන , ඒ එක්කම විදෙස් ණය හිමියන් සමග යළිත් සාකච්ඡා කරන්න වෙනවා. IMF සහතිකය නැති වුනොත් විදෙස් සංචිත අර්බුදය ආයෙත් එනවා. ණය ගෙවන්නේ නැතුව අඩියක් ඉස්සරහට යන්න බැරි වෙනවා.
ඔන්න ඔහොම ප්‍රශ්න වැලක් එක්ක තමයි බලය ලැබුනත් යන්න වෙන්නේ . ඒ කියන්නේ 2022 ගෝඨාභය මුහුණ දුන් අභියෝගය අනුර ට එනවා.
ඒ එක්කම ඔහු පිළිගෙන තියෙනවා , ආර්ථිකයේ බරපතළ දුෂ්කරතා වලට මුහුණදී සිටින ප්‍රජාව ජාතික ජනබලවේගය සමග නැති බව . ජාජබ කොන්දේසි IMF පිළිගත්තේ නැත්නම් "ගෙවන්න පුළුවන් දවසක ගෙවන්න "කියන හඳුන්නෙත්ති තියරිය අවුල් වෙනවා. ඒ එක්කම හොරු කියලා කියපු උදවිය හිරේ දාන්න වෙනවා . ඒක නිදහස් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් ඇතුලේ කරන්න වෙනවා. ඔය ඇති නේද ප්‍රශ්න ටික. ඔය විදිහට දිගෑරලා ගත්තොත් අනුර දිසානායක නෙවෙයි , අපිත් භීතියට පත්වෙනවා. ඒ නිසා 2005 දී රනිල් වෙනුවට මහින්ද ගෙන ඒම ජාතිවාදී වමේ වරදක් ලෙස අරගෙන , රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යාමට සිදුවීම අනුර මුහුණදී ඇති යථාර්ථය වෙන බව කවුරුත් තේරුම් ගන්න ඕන . එතකොට අනුර ද රනිල් ද වෙනුවට , මේ සිස්ටම් එක හොඳට ප්ලේ කරන්නේ කවුද ? එතන අවධානමක් නැත්නම් තෝරාගැනීම කළ යුත්තේ කොහොමද යන්න මිලියන 22 ජනතාව ට හිතන්න වෙනවා.

කතානායකට එරෙහි විශ්වාසභංගය - ඩලස්ලා හරිනිලා පක්ෂ වෙලා : ආණ්ඩුවේ හයිය පෙන්නනවා - ප්‍රසන්න !
කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ අදාළ විශ්වාසභංග යෝජනාවට තම පාර්ශ්වය අනිවාර්යයෙන්ම සහාය පළ කරන බවයි.
එසේම ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද පවසා ඇත්තේ යෝජනාවට සහාය පළකරන බවයි.
මෙම විශ්වාසභංගය ගෙන එමින් සමගි ජනබලවේගය පක්ෂය පවසන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය.
ඒ අනුව මේ සතිය තුළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාරදීමට නියමිත බවත් වාර්තා වෙයි .
ආණ්ඩුවේ හයිය පෙන්නනවා - ප්‍රසන්න
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බවයි .
කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට හොඳ අවස්ථාවක් බව සඳහන් කරන අමාත්‍යවරයා එබැවින් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ය.

පොලිස්පති දේශබන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් : විනිසුරු ස්තුති කරයි !
පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පාර්ශවකරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකයකු වන එම්. බී. වී. රැළපනාව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම දැනුම් දීම සිදුකළේය.
එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයකු පොලීසිය වෙත කැඳවනු ලැබන අවස්ථාවේදී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කව්ද? සහ එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පුද්ගලයාට දැනුවත් කිරීමට අදාළව චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.
එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් පුද්ගලයෙක් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට පෙර එම පැමිණිල්ල සිදුකළේ කවුරුන්ද? එම පැමිණිල්ලේ අන්තර්ගතය කුමක්ද? යන තොරතුරු දැනගැනීමට හිමිකමක් තිබෙන බව සඳහන් කළේය.
පොලිස්පතිවරයා විසින් කෙටුම්පත් කරනු ලබන චක්‍රලේඛයේ පිටපත අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළේය.
ඉන් අනතුරුව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ස්තුතිය පළ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර .පසුව ඔහු මුදා හැරීමටත් නියෝග කළේය.
පෙත්සම්කරු කියා සිටින්නේ තමා ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ අදහසක් පළ කිරීමෙන් පසුව ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණ ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවය.
අදාළ ප්‍රකාශය ලබා ගැනීමට සූදානම් වන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන් දැයි තමන් විමසූ විට ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සන්කරු චෝදනා කළේය.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබේ.
- derana

උද්දිකගේ පුරප්පාඩුවට මුතුකුමාරණ එයි !
අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ පත් කිරීමට නියමිතව ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ මනාප ලයිස්තුවේ ඊළඟ වැඩිම මනාප ලාභියා වශයෙන් එස්. සි. මුතුකුමාරණ මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිමිකම් කියයි.
කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු අතර ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණාය.
මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට නියමිතය.

“ලංගම ගැන පැමිණිලි කරන්න 1958 අමතන්න”
ලංගම බස් රථයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365 ම දවසේ ඕනෑ ම වේලාවක 1958 දුරකතන අංකය අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (පෙබ. 27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දක්වමිනි.
තමා ඒ පිළිබඳව දැනුම් දීමක් ද සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා එවැනි විනය විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයන්ට විනයානුකූලව දඬුවම් පමුණුවන බව ද අවධාරණය කළේ ය.
සාමාන්‍ය පිළිගැනීම මෙන් ම තමා අසා ඇති දෙය නම් “ලංගම රියැදුරන් අනෙකුත් රියදුරන්ට සාපේක්ෂව වඩා විනයගරුක, වඩා සුහදශීලී සහ වඩා ආරක්ෂාකාරී පුද්ගලයින් යැයි” ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වෙයි
ජනප්‍රිය රංගන ශිල්පියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කතානායකවරයා යොමුකර ඇතැයි වාර්තා වේ.
විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ උද්දික ප්‍රේමරත්න, මෙරට දේශපාලනය තිත්ත වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබිණ.
ඉන් අනතුරුව ඔහුගේ වාහනයට ද වෙඩි තැබීමක් ද සිදුවූ අතර කිසිඳු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

සජබ සමග සාකච්ඡා කරන්න චම්පිකලා ගියත් සජිත් මඟ හරියි !
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පසුගියදා හමුවු එක්සත් ජනරජ පෙරමුණේ පාඨලි චම්පික රණවක ඇතුළු පිරිස සමගි ජන බලවේගයේ කණ්ඩායමක් සමග ද සාකච්ඡා පවත්වා තිබේ.
කෙසේ වුවත් මෙම සාකච්ඡාව සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගි ව නොතිබීම විශේෂත්වයකි.
ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් සහභාගි ව ඇත්තේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන නියෝජිත පිරිස ය.
එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන පිරිස ද එක්ව තිබේ.
එහිදී එක්සත් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සජබ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වු බවයි එම පක්ෂය නිවේදනය කර සිටියි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇත .
“අපේ අරමුණ ඉදිරි මහමැතිවරණය, ජනාධිපතිවරණ සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් බිහිකරගන්න. ඒ සඳහා අපි දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කත්, එක්සත් ජාතික පක්ෂය එක්කත් දැන් අද සමගි ජන බලවේගත් එක්කත් කතා කළා. අපි අනිත් පක්ෂ එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා."

ජනක සහ ප්‍රමිතට නොකියා නාමල් මාතලේට බැහැලා : ජනාධිපති අපේක්ෂක වෙලා !
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇති බව වාර්තා වෙයි .
දඹුල්ල හෝටලයක මෙම නියෝජිත හමුව පවත්වා ඇති අතර ඊට පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් හෝ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් මෙම රැස්වීමට පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික අනුරුද්ධ , ජානක තිස්ස කුට්ටිආරච්චි රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන්, මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගිව ඇති බවත් වාර්තා වෙයි .
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලු දෙනා එහිදී ඒකමතිකව අනුමත කර ඇතැයිද දැනගන්නට ඇත.

පරාටේ තාවකාලිකව අත්හිටුවේ !
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලන්කන් නිකං දුන්නත් ගන්න කෙනෙක් නෑ !
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා සඳහන් කරයි.
අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .
සමාගමේ සේවකයන් පසුගිය කාලයේ සිදු කළ වර්ජන හේතුවෙන් සමාගමට තිබූ පිළිගැනීම බිංදුවට වැටී ඇති බවද පවසන අමාත්‍යවරයා ඒ හේතුවෙන් සමාගම නොමිලේ දුන්නද භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තත්ත්වයට පත්ව ඇතැයි පැවසීය.
මෙරට ගුවන් තොටුපොළ ගැනීමට අදානි සමාගම් පමණක් නොව රුසියාව චීනය ඇතුළු රටවල් කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින බවද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය .

උරුමයට ක්ෂණික ඇමතුම් අංකයක් !
“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දිනපතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ දුරකථන අංක 0114 354600/ 0114 354601 ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා ඇත.
www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබේ.
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනා අතර සුවිශේෂී යෝජනාවකි.
මෙම උරුමය සින්නක්කර ඔප්පු ලබා ගැනීම තුළින් ඉඩම සඳහා නව වටිනාකමක් හිමි වන අතර, එතුළින් ඔවුන්ගේ උරුමය ආරක්ෂා කර ගනිමින් තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වෙයි.

කඳුරට ජනතා ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නැහැ !
කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.
ඇතැම් දේශපාලන පක්ෂ කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යැයි පවසමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මඟකට” යන මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මෙම වසර තුළ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව පැවසූ අමාත්‍යවරයා යෝජිත ජල සූත්‍රය හඳුන්වාදීම ජනතාව පීඩාවට පත් නොකරන ආකාරයකට සිදු කරන බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙසේද පැවසීය.
“මෙම වසර තුළ අප ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. පසුගිය වසරේ අප හඳුන්වා දෙන බව ප්‍රකාශ කළ ජල ගාස්තු සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී පවතිනවා. නමුත් එම සකස් කරන ලද ජල සූත්‍රය පිළිබඳ අප තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සූත්‍රය මඟින් ජනතාවට අනවශ්‍ය බරක් පැටවීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.
ඇතැම් දේශපාලන පක්ෂ එක්ව කඳුරට දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් පවා අත්සන් කර තිබෙනවා. කඳුරට දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය වන්නේ නැහැ. කඳුරට දෙමළ ජනතාව දිගු කාලයක් මෙවැනි සන්දර්ශන දැක තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ දෙන වචන ක්‍රියාවෙන් සිදු කර පෙන්වීමයි. අප කැපවී සිටින්නේ ඒ සඳහායි.
ඇතැම් දේශපාලන නායකයන්ට අනුව වතුකරයේ දෙමළ ජනතාව මුහුණ දෙන එකම ප්‍රශ්නය දෛනික වැටුප ලෙස රු.1500.00ක මුදලක් ලබා ගැනීමයි. මම මගේ ජනතාව එවැනි පහත් මට්ටමක තැබීමට කැමති නැහැ. ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කවර කණ්ඩායමක් දේශපාලනික වශයෙන් කුමන ස්ථාවරයක් දැරූවද සුළු ජන කොට්ටාසයකගේ ගැටලු විසඳීමේදී දේශපාලනික වශයෙන් බෙදීම් නොපැවතිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයයි. මගේ ස්ථාවරය ද එයයි. එම ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදී එලෙස එක්වන ලෙස ආරාධනා කළත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙකු දේශපාලනික පටු සීමා තුළ කටයුතු කරමින් සිටිනවා.
2015 වසරේදී යෝජනාවී තිබුණේ නිවාස 14,000ක් ඉන්දීය ණය ආධාර යටතේ ද, නිවාස 10,000ක් ශ්‍රී ලංකා රජය මඟින්ද වන ලෙස කඳුරට දෙමළ ජනාතාව වෙනුවෙන් මුළු නිවාස 24,000ක් ඉදි කිරීමටයි. 2022 වසර වන විට පැවති කොවිඩ් - 19 වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා මෙම නිවාස ඉදිකිරීම සම්පූර්ණයෙන් ඇන හිටියා. ඒ වන විට ශ්‍රී ලංකා රජයෙන් ඉදිකර තිබුණේ නිවාස 1560ක් පමණයි. මෙම නව නිවාස 10,000 ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණේ, ඉන්දීය රජය පෙර ලබා දුන් නිවාස 4,000 ව්‍යාපෘතියෙහි වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි වූ නිසයි.
නිවාස පමණක් නොවෙයි මෙම ජනතාවට ඉඩම් අයිතිය ද ලබා දිය යුතුයි. කඳුකර දෙමළ ජනතාව දිගු කාලයක් පුරා පුළුල්ව පැතිරුණු ගැටලු රාශියකින් පීඩා විඳිනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම ආදී මේ දක්වා නොවිසඳුණු ගැටලු රාශියක් ඔවුන්ට පවතිනවා. මෙම ගැටලු සඳහා තිරසර විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙත් මාගේත් ස්ථාවරය බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අප කටයුතු කරනවා.”

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ
දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.
දේශබන්දු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ද වේ.
1998 වසරේදී දේශබන්දු තෙන්කෝන් පොලිස් සේවයට එක්වූයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසයි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබිණ.

කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම ඇරඹේ
කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිසක් අත්සන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබේ.
එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව මෙහි සඳහන් වේ.
එසේම එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ අනුව කටයුතු නොකර ඇති බවත් එසේ කටයුතු නොකිරීම නිසා දැනට එම පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් නැගී ඇති බවත් 2024.02.08 වැනි දින කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සඳහන් කර තිබේ.
එසේම මෙම පනත තුන්වැනි වර කියැවීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පැහැදිලි බෙදීමක් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් ඡන්දයකින් තොරවම මෙය සම්මත කර ඇති බවත් මෙවැනි ගැටලු රාශියක් තිබියදී ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන තෙක් එම පනත් කෙටුම්පත නීතියක් වන ලෙස අත්සන් නොකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් කටයුතු කර තිබීමත් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වී තිබේ.
කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කථානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්
අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්(වෛද්‍ය සේවා) විසින් 2023.03.10 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිදීම සදහා පාසල් දරුවන් වෙත ලබා දිය යුතු උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර තිබේ.
මේ සම්බන්ධව සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම පාළාත් අධභාපන අධ්‍යක්‍ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
එම උපදෙස් මාලාව පහත පරිදි වේ.
Page 108 of 475