එජාප තනි ආණ්ඩු කතා නිමයි : හවුලේ දිගටම යන්න තීන්දු කරයි

එජාප තනි ආණ්ඩු කතා නිමයි : හවුලේ දිගටම යන්න තීන්දු කරයි
 
 පවතින දේශපාලන වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවට තවදුරටත් යහපාලන සම්මුති ආණ්ඩුව ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීන්දු වූ බව වාර්තා වෙයි.
 
අද (15) වනදා එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පෙරවරු 10.00 පමණ රැස්වූ බවත් එහිදී එම තීන්දුව ගෙන ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
 
එහිදී පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් එක්සත් ජාතික පක්ෂ සභාපති  අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.
 
හවුල් ආණ්ඩුවට පක්ෂයි - ඇමති සජිත් 
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද මෙහිදී අදහස් දක්වා ඇති අතර ඔහුගේ අදහස වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුව තුළ ප්‍රශ්න හදාගත නොගත යුතු බවත් ජනාධිපතිවරයාව විවේචනය කිරීම නවතා ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කැපවීම මේ මොහොතේ වැදගත් බවය.
 
එජාප බහුතරය එකඟයි
 
එසේම එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තුළ පෙනී සිටි  මැති ඇමතිවරුන් වන හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, නවීන් දිසානායක, මයන්ත දිසානායක, චතුර සේනාරත්න, දයා ගමගේ, අනෝමා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර, අජිත් පී පෙරේරා  ඇතුළු පිරිසක් ද මෙම යෝජනාවට එකඟත්වය පළකර ඇති බවද දැනගන්නට ඇත.
 
මෙහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක අමාත්‍යවරයා යෝජනාවක් ගෙන එමින් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ගොස් 113 පෙන්වා බලය තහවුරු කරගත යුතු බවට යෝජනා කර ඇති බවද වාර්තා වෙයි.
 
නමුත් එම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන්ගේ අග්‍රාමාත්‍යධුරයේ කිසිඳු වෙනසක් සිදුවී නොමැති පසුබිමේ අලුතින් 113ක් පෙන්වීමට දෙයක් නොමැති බවය. එසේම කිසියම් පාර්ශවයක් තමන්ට පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් පෙන්වා අග්‍රාමාත්‍යධූරය ඉල්ලා සිටිනවා නම් 113 පෙන්වා බහුතරය ඔප්පු කිරීම එම පාර්ශවයට අයත් දෙයක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
 
මේ ඇමතිකම තවත් එපා - ඇමති සාගල
 
මෙහිදී සාගල රත්නායක අමාත්‍යවරයා  සඳහන් ඇත්තේ තමන් නීතිය හා සාමය අමාත්‍යධුරය දරමින් පසුගිය ආණ්ඩුවේ චෝදනා ලබාසිටි පාර්ශව වලට අදාළ පොලිස් විමර්ශන සඳහා බලපෑම් කළ බවට විවේචනයක් සමාජගතව ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට තවදුරටත් එම අමාත්‍යංශයේ අමාත්‍යධුරය දැරීමේ අදහසක් නොමැති බවය. එහෙයින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අමාත්‍ය විෂය වෙනස් කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවය.
 
ඇමතිවරුන්ගේ විෂය පථ කොහොමත් වෙනස් කරනවා - අගමැති
 
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී අමාත්‍යවරුන්ගේ දැනට පවතින විෂය පථ සම්බන්ධ රැඩිකල් වෙනසක් කිරීමේ අපේක්ෂාවක් ඇති බවත් විශේෂයෙන්ම චෝදනා ලබා ඇති කිසිම අමාත්‍යවරයෙකු යළිත් එම විෂය යටතේ අමාත්‍යධුර ලබාදීමක් සිදුනොවන බවත්ය.
 
ඒ අනුව අද (15) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කන්දායාම් හමුව අවසන් වී ඇත්තේ අඛණ්ඩව යහපාලන සම්මුති ආණ්ඩුවේ සිටීමට සහ ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ රැඩිකල් වෙනසක් කිරීමට තීන්දු කරමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න