සිය සොහොයුරාගේ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් පසුවත් ඔහුට සාධාරණය ඉටුනොවීම ගැන ඉතා කණගාටුවන බව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග පවසයි.
රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට 2020 ජනවාරි 08 වන දිනට වසර 11 ක් සම්පූර්ණ වේ.
ලසන්ත වික්‍රමතුංගගේ 11 වැනි සැමරුම් උත්සවයට ද ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහෝදර මාධ්‍යවේදීන් හා හිතවතුන් බොරැල්ල කනත්තට රැස් වී සිටියේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුනොවී ඇති මොහොතකය.
"අවුරුදු ගාණකට පස්සේ ඔහුගේ මළසිරුර ගොඩ දාලා නැවත විමර්ශනයක් කෙරුවා. ලසන්තගේ මරණය ගැන හොයන්න ලොකු උත්සාහයක් නැත්නම් ඔහුගේ සිරුර නැවත ගොඩ නොගෙන ඉන්න තිබ්බා ඔහුට සමාදානයෙන් සැතපෙන්න ඉඩ දීලා," ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග සැමරුම් උත්සවයෙන් අනතුරුව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.
සෑම සැමරුම් උත්සවයකදී මෙන්ම මෙවරත් සැමරුමට පැමිණ සිටි බොහෝදෙනා කළ ඉල්ලීම වූයේ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටුකරන ලෙසය.
"යහපාලන රජය පාලන කාලය තුළ අවාසනාවකට මේ වගේ නඩු කිසිවකට විසඳුමක් ලැබුනේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නව රජයෙන් වුවත් මේ සම්බන්ධයෙන් විධිමත්ව පරීක්ෂණයක් කරලා මේ නීතිමය කටයුතු අවසන් කරාවි කියලා. නැත්නම් මේ අපරාධය රටක් ලෙස හැමදාම අපිට කැළලක් ලෙස තියේවි," ලාල් වික්‍රමතුංග සඳහන් කළේය.
ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙතෙක් වාර්තා කර ඇති කරුණු අනුව, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය මෙම ඝාතනයට සම්බන්ධ වී තිබේ. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා දැන් විදේශගතව ඇති බැවින් මෙම පරීක්ෂණය නව කණ්ඩායමක් යටතේ යළි ආරම්භවීමට නියමිතය.
බීබීසී සිංහල සේවයට 2019 වසරේදී අදහස් දැක්වූ අදාළ ඝාතන පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියෙකු පැවසුවේ, ලසන්ත ඝාතනයට මාස කිහිපයකට පෙර මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධ පිරිස් ලසන්ත ඝාතනයට ද සම්බන්ධ බවට දැනට කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇති බවය.

කීත් නොයාර් පැහැරගැනීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගෙන් 2018 වසරේ අගභාගයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය.
කෙසේ නමුත් නව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ඇතුළු පිරිස මෙහෙය වූ මෙම පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවය.
මේ දින වල ආන්දෝලනයකට ලක්ව ඇති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටවලින් හෙළිවන කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද මෙවන් විමර්ශන යළි විමර්ශනය කළ යුතුය යන්න තම මතය බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
වසර 11ක් පුරා 'නොවිසඳුන' ගැටලුව
2009 ජනවාරි 8 - රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.
2010 පෙබරවාරි 26 - ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.
2010 පෙබරවාරි 26 - එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණි.
2010 මාර්තු - හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.
2011 ඔක්තෝබර් 13 - අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.
2013 සැප්තැම්බර් 6 - නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා උසාවිය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.
2014 ජනවාරි 8 - "ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
2015 ජනවාරි 10 - බලයට පත්වන නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ටශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය.
2015 ජනවාරි 21 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.
2015 අගෝස්තු 6 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.
2016 පෙබරවාරි 17 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
