උදර්පණ නීතිය යටතේ : නීතිපති සිංගප්පූරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලයි !

උදර්පණ නීතිය යටතේ : නීතිපති සිංගප්පූරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලයි !

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙනු ලැබූ බව නීතීපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතීඥ නිශාරා ජයරත්න පවසයි.

එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බවත් ඇය පැවසූ අතර මෑත ඉතිහාසයේ නොවූ අයුරින් මේ ප්‍රකාශය වීඩියෝවක් ලෙස විද්‍යුත් මාධ්‍ය වෙත නිකුත්කර තිබිණ.

එම නිවේදනය අනූව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත්කර ඇත.

ඒ අනුව අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවස්ථාව පවති.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් විදේශ ගතවූ අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.

ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න