"දත්ත" පැත්තකට කර සජිත් වැඩට බැහැලා ! 

"දත්ත" පැත්තකට කර සජිත් වැඩට බැහැලා ! 

දේශපාලනඥයින් සිදු කරන සේවය සංඛ්‍යා ලේඛණ වලින් පමණක් පෙන්වා ජනප්‍රිය වන්නට කටයුතු කරන යුගයක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සංඛ්‍යා ලේඛණවලට මුල්තැන ලබා නොදී ජනතාවගේ අවශ්‍යතාවයට, ජනතාවගේ තෘප්තියට මුල්තැන ලබා දී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික වර්ධන වේගය, ඒක පුද්ගල ආදායම යන දත්ත ගැන අද බොහෝ දෙනා කතා කළද, අප අවධානය යොමු කළ යුත්තේ ජනතාවගේ බඩ කට පිරිලද, ජනතාව තෘප්තියෙන් සිටිනවාද යන්න පිළිබඳව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදී සංඛ්‍යා ලේඛණ වෙනස් කර ජනතාව රවටා කෙටි කාලයකදී ප්‍රසිද්ධියක් ලබා ගැනීමට හැකි නමුත් කිසිදිනෙක ජනතාවගේ සතුට, සිතුම් පැතුම්, බලපොරොත්තු රැවටීමට කිසිවෙකුට නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.  

ඇතැම් දේශපාලන‍ඥයින් කෙටි මාර්ගයෙන් ජනප්‍රිය වීම සඳහා රට ගිනි තබා විනාශ කරන බවත්, විරුද්ධවාදීන් අද සිදු කරන්නේද ජාතිවාදය, ආගම් වාදය යන පිදුරු ගොඩට ගිනි තබා රට විනාශ කිරීම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ, තාල්වුපාදු හී ඉදිකළ “වලනාර් පුරම්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (06)  සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 134 වන ආදර්ශ ගම්මාන මෙය වේ.

නිවාස 50 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 463 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ. ‍

මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 50 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 100 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 50 ක හිමිකම ලබාදීම, අඩු ආදායම්ලාභී පවුල් 300 කට රුපියල් ලක්ෂ 300 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 290 කට රුපියල් ලක්ෂ 145 ක වටිනාකමකින් යුතු නිවාස ණය හා ආධාර, ප්‍රතිලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘ග්‍රාමශක්ති’ නිවාස අධාර, ප්‍රතිලාභී පවුල් 10 කට රුපියල් ලක්ෂ 20 ක් වටිනා ‘සොඳුරු පියස’ නිවාස අධාර,‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 105 දෙනෙකුට රුපියල් ලක්ෂ 82 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 9 ක් වටිනා ස්වයං රැකියා ණය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 88 දෙනෙකුට ඇස් කණ්නාඩි සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න