ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2027 අයවැය යෝජනා මගින් පෙනී යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මාවතේ ගමන් කිරීමට සිදුව තිබීම බවත්, මෙම අයවැය සකස් කර එවා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද යන්න සැකයක් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක, නීතිඥ දිනේෂ් විදානපතිරණ පවසයි.
කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (19) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2022 වසරේදී රටේ ආර්ථිකය වැටී තිබූ අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ IMF සමඟ එකඟතාවකට පැමිණ ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනා සහ 2027 වර්ෂය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා බොහෝ සෙයින් සමාන බව පෙනී යන බවයි.
ඊට උදාහරණ ලෙස ඔහු මෙම කරුණු ඉදිරිපත් කළේය:
“2024 අයවැයේදී 'අස්වැසුම' සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා 27 සහ 33 යන යෝජනා තිබූ අතර, වත්මන් ආණ්ඩුවද අස්වැසුම සහ අනෙකුත් සමාජ ආරක්ෂණ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යන බව සඳහන් කර තිබේ.
විශ්‍රාමිකයන් සඳහා මාසික ජීවන වියදමට සාපේක්ෂව දීමනාවක් වැඩි කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැයේ සඳහන් වූ අතර, වත්මන් රජයේ අයවැයෙන්ද අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට යෝජනා කර ඇත.
ඖෂධ ප්‍රසම්පාදනය, රසායනාගාර, රෝහල් සහ වෛද්‍ය සේවා සංවර්ධනය සම්බන්ධයෙන් 2024 අයවැයේ 66 සිට 71 දක්වා තිබූ යෝජනාවලට සමානව, වත්මන් රජයේ අයවැයෙන්ද රෝහල්, වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය යටිතල පහසුකම් සහ ආයෝජන සඳහා මුදල් වෙන් කරන බව සඳහන් කර ඇත."
එමෙන්ම රටේ වත්මන් ආර්ථිකය හසුරුවන්නේ ආණ්ඩුවවත්, පැලවත්තවත් නොව එක් ව්‍යාපාරික ප්‍රජාවක් විසින් බව සැම දෙනාම දන්නා කරුණක් වන බවත්, වත්මන් අයවැය යෝජනාවල ඇත්තේ එම ව්‍යාපාරික ප්‍රජාවගේ යෝජනාද, එසේ නැතිනම් පැලවත්තේ යෝජනාද යන්න ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
“රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් අද වන විට මේ ආණ්ඩුවේ මෙහෙයුම්කරුවන් බවට පත්ව සිටින බවත්, ඒ නිසා පාර්ලිමේන්තුවේදී ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කොතරම් කයිවාරු ගැසුවත්, අවම වශයෙන් අනුර කුමාර දිසානායක මහතාට පවා පෙනෙන ආකාරයට තීන්දු තීරණ ගන්නේ එම ව්‍යාපාරික ප්රජාවයි. එය දැනටමත් දන්නා කරුණක් බවට පත්ව තිබෙනවා.
මීට පෙර ටිල්වින් සිල්වා මහතා ඉල්මහා විරු සැමරුවේදී පක්ෂය හෝ රට පාලනය කරන්නේ සහ ගෙනයන්නේ කෙසේද යන්න පැවසුවද, ප්‍රායෝගිකව එවැන්නක් දක්නට ලැබෙන්නේ නැහැ.”
එබැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට ඒමට පෙර වේදිකාවල ප්‍රකාශ කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව වෙනත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස අවධාරණය කරන බවද දිනේෂ් විදානපතිරණ පැවැසීය.
“අනුර කුමාර දිසානායක මහතා බලයට එන්නට එදා වේදිකාවල ප්‍රකාශ කළා සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව වෙනත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියා අපි අවධාරණය කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා ගිය පාරේම ගොස් කයිවාරු ගැසීමෙන් පලක් නැහැ. මොකද ඔබ ජනතාව රැවටීමට ලක් කළේ IMF වැඩපිළිවෙළෙන් ඉවත් වී වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන බව පවසමිනි.
වර්තමාන ආණ්ඩුව ව්‍යාපාරික ගජමිතුරන්ට අවශ්‍ය ලෙස ආර්ථිකය හසුරුවමින්, මේ රටේ අහිංසක මධ්‍යම පාන්තික සහ අර්ධ මධ්‍යම පාන්තික ජනතාවට දරාගත නොහැකි ලෙස පීඩනය පටවන බවත්, එය ඉතා ඉක්මනින් පුපුරා යන තත්ත්වයකට පත්වන බව අපේ හැඟීමයි. ඒ නිසා තමන් මැතිවරණ ව්‍යාපාරයේදී පැවසූ පරිදි IMF අතකොළුවක් බවට පත් නොවී, තමන්ගේම වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
