අතීතයේ ණය ගෙවීමේ අපහසුතා මතුවී පසුව එම ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ ව්යවසායකයන්ට සහ පුද්ගලයන්ට යළි ණය පහසුකම් ලබාගැනීමේදී මතුවන බාධා ඉවත් කිරීම සඳහා 2027 අයවැය හරහා නිශ්චිත ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින් ජනාධිපති සහ මුදල් අමාත්ය අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
වත්මන් ක්රමවේදය යටතේ ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාවල අතීත තොරතුරු වසර 5ක් දක්වා රඳවා ගැනීම හේතුවෙන්, ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට පවා නව ණය ලබාගැනීමේදී බරපතළ අපහසුතා මතු වන බව මන්ත්රීවරයා එමඟින් පෙන්වා දී ඇත.
මෙම ගැටලුවට විසඳුම් ලෙස මැලේසියාව වැනි රටවල ක්රමවේද ආදර්ශයට ගනිමින් 2027 අයවැය මගින් ක්රියාත්මක කරන ලෙස ඔහු කරුණු පහක් යෝජනා කර තිබේ.
දින 5ක් තුළ යාවත්කාලීන කිරීම: ණය සම්පූර්ණයෙන් පිය වූ පසු වැඩ කරන දින 5ක් ඇතුළත CRIB වාර්තාව යාවත්කාලීන කිරීම.
පැහැදිලි සටහනක් යෙදීම: ගෙවා අවසන් කළ ණය “සම්පූර්ණයෙන් පියවා අවසන් කළ” (Fully Settled/Closed) ලෙස පැහැදිලිව සඳහන් කිරීම.
ආදායම මත තක්සේරු කිරීම: පැරණි ණය ගැටලුව පමණක් නොව, වර්තමාන ආදායම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව (Repayment Capacity) මත පමණක් ණය තක්සේරු කරන ලෙස බැංකු වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීම.
වාර්තා රඳවා ගැනීමේ කාලය සමාලෝචනය: ශ්රී ලංකාවේ ණය තොරතුරු වාර්තාවේ අතීත තොරතුරු රඳවා ගැනීමේ කාලසීමාව ජාත්යන්තර ප්රමිතීන්ට අනුව 2027 වසර තුළ සමාලෝචනය කිරීම.
දෙවන අවස්ථා ණය වැඩසටහනක්: සියලු ණය වගකීම් පියවා ඇති කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර (MSME) සඳහා නැවත ව්යාපාර ආරම්භ කිරීමට “දෙවන අවස්ථා ණය වැඩසටහනක්” (Second Chance Business Loan Scheme) හඳුන්වා දීම.
අතීතයේ ණයක් ගෙවීමට නොහැකි වූ අයකු එය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ පසු යළි ආර්ථිකයට දායක වීමට පුළුල් අවස්ථාවක් ලබා දීම ව්යාපාරිකයන්ට මෙන්ම රටේ සමස්ත ආර්ථික වර්ධනයටද අත්යවශ්ය සාධකයක් බව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.
අදාළ ලිපිය පහළින්>>


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
