Image

ක්‍රිකට් ක්‍රීඩාවේ නාස්තිකාරයින්ට අගනා පාඩමක්

ක්‍රිකට් ක්‍රීඩාවේ නාස්තිකාරයින්ට අගනා පාඩමක්

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යක්ෂේත්‍රය තුළ අතිශය වැදගත් නඩු විභාගයක් පසුගිය දා කොළඹ දිසා අධිකරණයේ දී නිෂ්ප්‍රභා කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් විසින් ලේක්හවුස් ආයතනයට, සිළුමිණ පුවත්පතට සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව එම නඩුව පවරනු ලැබුවේ 2023 වසරේ ජූනි මාසයේ දී ය. එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළේ Dharman Wickremaretne වන මා ය.

 

නීති කටයුතු සඳහා රුපියල් කෝටි 68ක් 

2023 වසරේ අප්‍රේල් මාසයේ සහ ජූනි මාසයේ සිළුමිණ පුවත්පතේ පළ වූ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ලිපි දෙකක් මගින් ක්‍රිකට් ආයතනයට අපහාසයක් සිදුවූ බවට එම නඩුව ගොනු කර තිබිණි. වසර 3ක් පුරා ඇදී ගිය නඩු විභාගය පසුගිය සතියේ දි අවසන් වූයේ එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මැදිහත් වීමෙනි. පසුගිය කාලය පුරා ක්‍රීඩාවේ අකටයුතුකම් අනාවරණය කළ ෆවුස් මොහොමඩ් ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනකුට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව හිටපු ක්‍රිකට් නිලධාරින් විසින් පවත්වාගෙන යන ලද නඩු ඉවත් කරගැනීමට පරිවර්තනය කමිටුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබිණි. එම පරිවර්තන කමිටුව පත් කිරීමට කටයුතු යෙදුණේ ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරින් සම්බන්ධව මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මෙන්ම ක්‍රීඩාලෝලින් අතරත් දැඩි අප්‍රසාදයට හා විවේචනයට ලක්වූ සිදුවීම් ගණනාවක් සැලකිල්ලට ගනිමිනි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වඩාත් පැහැපත් කිරීම සඳහා පරිවර්තනය කමිටුව ගත් සාධණීය තීරණයකි.

ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් මාධ්‍ය ඇතුළු විවිධ නීති කටයුතු සඳහා රුපියල් කෝටි 68ක් නීතිඥ ගාස්තු ලෙස වැය කිරීම ද පරිවර්තන කමිටුවේ අවධානයට යොමුවූ බවත් මෙහි දී සිහිපත් කළ යුතු ය.

 

වාරණ නියෝග තුනක්

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විමර්ශනාත්මක මාධ්‍යවේදියකු ලෙස ප්‍රකට ෆවුස් මොහොමඩ් වසර ගණනාවක සිට ක්‍රිකට් ක්‍රීඩාවේ අකටයුතුකම්, පරිපාලනය, ක්‍රිඩකයින්ගේ විනය සහ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ දිගින් දිගට ම සිළුමිණ පුවත්පතට ලිපි සැපයු අතර, අපහාස නඩුවට නිමිත්ත වූයේ ක්‍රිකට් ආයතනයේ පාලනය සහ මූල්‍ය විනිවිදභාවය ප්‍රශ්න කරමින් ලියූ විශේෂ ලිපි දෙකකි. එම ලිපි මගින් අපහාසයක් වූ බවට කරුණු ගොනු කරමින් එවකට ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න විසින් ෆවුස් මොහොමඩ්, මා ඇතුළු ලේක් හවුස් ආයතනය වගඋත්තරකරුවන් කරමින් කොළඹ දිසා අධිකරණයේ රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එම නඩුව ගොනු කරන ලදී.

නඩුව කැඳවූ පළමු අවස්ථාවේ දී පැමිණිලිකාර පාර්ශ්වය ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සම්බන්ධයෙන් අපහාස ගෙන දෙන ප්‍රකාශයන් සිදු කිරිම සහ එකී ප්‍රකාශයන් ප්‍රචාරය කිරිම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටි අතර, එම නඩුව කැඳවු අවස්ථාවේ දී පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අධිකරණය ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරින් සම්බන්ධව කරුණු සහ ප්‍රකාශ පළ කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරිම වළකාලමින් ෆවුස් මොහොමඩ්ට, සිළුමිණ පුවත්පතට, පුවත්පතේ වෙබ් අඩවියට සහ ඊට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් වළකාලමින් වාරණ නියෝග තුනක් නිකුත් කර තිබිණි. පසුව තවත් නඩු වාර දෙකකදීම එම වාරණ නියෝග දීර්ඝ කර තිබිණි. ෆවුස් මොහොමඩ් පිළිබඳ වඩාත්ම කතාබහට ලක්වූයේ එම නීතිමය ගැටලුව සහ ඉන් අනතුරුව මාධ්‍ය නිදහස වෙනුවෙන් තීන්දු වූ ඓතිහාසික අධිකරණ තීන්දුව හේතුවෙනි.

පෙර නිකුත් කර තිබූ වාරණ නියෝග විසුරුවා හරියි

අනතුරුව විත්තිකාර පාර්ශ්වය මගින් ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමෙන් පසුව එම වසරේ දී ම සැප්තැම්බර් මාසයේ 6වන දා පූර්වගාමී විනිසුරු සඳුන් විතාන පිටු 14කින් සමන්විත නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් බැලූ බැල්මට ම ජයගත හැකි නඩුවක් විත්තිකරුවන්ට එරෙහිව අනාවරණය නොකිරිම මත මීට පෙර නිකුත් කර තිබූ වාරණ නියෝග විසුරුවා හරිමින් පැමිණිල්ල මගින් ඉල්ලා සිටි අතුරු තහනම් නියෝග ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. පසුගිය සතියේ දී දිසා අධිකරණය නිෂ්ප්‍රභා කරනු ලැබුවේ එම නඩු විභාගය යි.

ෆවුස් මොහොමඩ්ට සහ සිළුමිණ පුවත්පතට එරෙහි වාරණ නියෝග ඉවත් කිරිම සහ අතුරු තහනම් නියෝග ඉල්ලීම දිසා අධිකරණයෙන් ප්‍රතික්ෂේප වීම මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්වූ ඓතිහාසික තීන්දුවකි. ජනතාව විසින් දැඩිව අවධානයට ලක් කරන ක්‍රීඩාවක පාලන ව්‍යුහය විසින් පවත්වාගෙන යා යුතු ඉහළ මට්ටමේ මූල්‍ය විනය පිළිබඳ සහ එම මුල්‍ය විනයට අදාළ අවභාවිතාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් අදාළ පුවත් පළ කර ඇති බව එම නියෝගයට අදාළ තීන්දුවේ සඳහන් වේ. යමක අවභාවිත සහ ප්‍රශ්නගත තත්ත්ව ඇති විට ඒවා තහවුරු කිරීමට කරුණු සහ සාධක තිබේ නම් මහජන යහපත හෙළිදරවු කිරීම සඳහා සිය පන්හිඳ මෙහෙයවීමට මාධ්‍යවේදියාට අයිතිය ඇති බව තහවුරු වූ අතර, එය විමර්ශනාත්මක මාධ්‍යකරණයට ලැබුණු වැදගත් නීතිමය ජයග්‍රහණයක් ලෙස සැලකේ.

 

පොදු මහජන යහපත වෙනුවෙන් සත්‍යය හෙළිදරවු කළ මාධ්‍යවේදියයා

මා එවකට සිළුමිණ පුවත්පතෙහි කර්තෘවරයා ලෙස ෆවුස් මොහොමඩ්ගේ විමර්ශනාත්මක මාධ්‍යකරණය සහ මාධ්‍ය භාවිතය සම්බන්ධව මනා අවබෝධයකින් සිටි බව ද සඳහන් කළ යුතුය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මාධ්‍යවේදියකු ලෙස සිය වගකීම අකුරටම ඉටු කිරීමට ඔහු තුළ තිබූ කැපවීම සහ උනන්දුව ද මාගේ සිත් ගත්තේ ය. වාරණයක් සහ රුපියල් බිලියනක වන්දි ඉල්ලා ක්‍රිකට් බලධාරින් නඩු පවරද්දි ඔහු සිය ආයතනයට නිසි සහාය ලබා දෙමින් තමන් සතු සාක්ෂි සමග නීතිමය වශයෙන් දැඩි විශ්වාසනීයත්වයකින් යුතුව ඊට මුහුණ දීම කැපී පෙනිණි.

මෙරට ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බලපෑම්වලට යටත් නොවී ස්වාධින හඬක් නැඟිය හැකි බව ඔහු එමගින් ඔප්පු කර පෙන්වීය. ඊට හොඳම නිදසුන වන්නේ ක්‍රිකට් ආයතනය විසින් දිසා අධිකරණයෙන් වාරණ නියෝගය ලබාගත් ලිපි පළ වන අවස්ථාවේ දී පවා ෆවුස්ට එරෙහිව ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 500ක් ඉල්ලා ගොනු කර තිබූ තවත් අපහාස නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පැවතීම ය. එම නඩුව පවරා තිබුණේ තේරීම් කමිටුවේ ක්‍රමවේදය ප්‍රශ්න කරමින් ඊට වසරකට පමණ පෙර පළ කළ ලිපියකට ය. එම නඩුව ද පසුගිය මාසයේ දි ඉල්ලා අස්කරගැනීමට පියවර ගෙන තිබිණි. බලධාරීන්ගේ තර්ජන හෝ නීතිමය බලපෑම් හමුවේ පසුබට නොවී, නිශ්චිත සාක්ෂි සහ දත්ත මත පදනම්ව පොදු මහජන යහපත වෙනුවෙන් සත්‍යය හෙළිදරවු කළ මාධ්‍යවේදියකු ලෙස ඔහු හඳුනාගෙන සිටි බැවින් ක්‍රීඩාව සම්බන්ධව ඔහු විසින් සපයනු ලැබූ ලිපිවලට අවස්ථාව ලබාදීමට මම පැකිළීමකින් තොරව කටයුතු කළෙමි. ඔහුගේ මාධ්‍යකරණ රටා‍වේ කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් මාගේ රාජකාරි කාලය තුළ මම හඳුනා ගතිමි.

 

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්

එහි වඩාත් වැදගත් කාරණය වන්නේ දත්ත සහ මූලාශ්‍ර මත පදනම් වීමය. හුදු උපකල්පන මත පදනම් නොවී, ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර මූල්‍ය වාර්තා, විගණන වාර්තා සහ නිල තොරතුරු මූලාශ්‍ර උපයෝගි කර ගනිමින් ඔහු සිය විමර්ශන සිදු කිරීම ය. වාරණයට ලක්වූ ඔහුගේ ලිපි සත්‍ය කරුණු මත පදනම් වූ සාධාරණ විවේචන බවට දිසා අධිකරණයේ දී තීන්දු වූයේ එබැවිනි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ තරග ජයග්‍රහණ, පරාජ පමණක් වාර්තා කරන සාමාන්‍ය ක්‍රීඩා වාර්තාකරණයෙන් ඔබ්බට ‍ගොස් ක්‍රිකට් ආයතනය සතු අරමුදල් පරිපාලනය සිදුවන ආකාරය ඔහු ප්‍රශ්න කළේ ය. ක්‍රීඩකයින්ගේ විනය පිරිහීම සහ ඊට බලපාන පරිපාලනමය දුර්වලතා පිළිබඳ ඔහු නිර්භයව කරුණු දැක්වීය. ක්‍රීඩාවේ උන්නතිය සඳහා ක්‍රීඩකයන්ට වඩා පරිපාලනයට ඇති වගකීම ඔහු කදිමට පෙන්වා දුන්නේ ය.

මේ නඩු තීන්දුව සහ ෆවුස් මොහොමඩ්ගේ ස්ථාවරය ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකි කරුණු කිහිපයක් ද අංකූර ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පරිශිලනය උදෙසා මෙහි සඳහන් කිරිම වැදගත් වනු ඇත. අතීතයේ සිටම තරග ලකුණු, ක්‍රීඩකයන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ වාර්තා මෙන්ම තරග විස්තර වාර්තා කිරිමට පමණක් සීමා වූ මෙරට ක්‍රීඩා මාධ්‍යකරණය තුළ විමර්ශනාත්මක මාධ්‍යකරණයක් ප්‍රබලව ස්ථාපිත වූයේ ක්‍රීඩාව පසුපස ඇති බිලියන ගණනාවක අරමුදල් පරිපාලනය ප්‍රශ්න කළ ෆවුස්ගේ ලිපි මගින් බව මාගේ අදහස ය. ඔහුගේ විමර්ශන ලිපි කලාව හුදෙක් එක් කාරණාවකට පමණක් සීමාවූවක් නොවූ අතර, එය ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ විහිදී ගොස් තිබිණි.

වසර 2022 ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව නිකුත් වූ නිල විගණන වාර්තා පදනම් කරමින් නිලධාරීන්ගේ විදෙස් සංචාර සඳහා ක්‍රිකට් අරමුදල් අවභාවිත කළ ආකාරය පිළිබඳ ඔහුගේ ලිපි මගින් දැඩි ලෙස ප්‍රශ්න කිරීම ඊට නිදසුනකි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ පළමුපෙළ ක්‍රිකට් තරගාවලි සංවිධාන කිරිමේදි සහ ඒවා පැවැත්විමේදි සිදුවන දේශපාලනික සහ පරිපාලනමය බලපෑම් මෙන්ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට නිසි තැන නොලැබීම සම්බන්ධයෙන් ඔහු අඛණ්ඩව කරුණු හෙළිදරවු කර තිබිණී. ක්‍රිඩකයන් තේරිමේදී සිදුවන අසාධාරණකම් සහ කණ්ඩායමේ විනය ආරක්ෂා කිරිමට නිලධාරින් අසමත්විම හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවන හානිය සහ අපකීර්තිය ඔහුගේ විමර්ශනාත්මක ලිපිවලට පාදක වී තිබිණි.

 

තර්ජන හමුවේ නොසැලී සිටීමට දැවැන්ත ආදර්ශයක් සහ ධෛර්යයක්

බලවත් පුද්ගලයින් සහ ආයතන විසින් තමන්ට එරෙහිව ලියන මාධ්‍යවේදීන් බිය ගැන්වීම සඳහා රුපියල් බිලියන ගණනින් විශාල වන්දි මුදල් ඉල්ලා නඩු පැවරීම ලොව බොහෝ රටවල සියලු ක්ෂේත්‍රවල බහුලව සිදුවන්නකි. එසේ බැලූ විට ෆවුස් මොහොමඩ් සියලු අභියෝග හමුවේ නොසැලී සිය පන්හිඳ මෙහෙයවීම ක්‍රීඩාවේ පමණක් නොව සෙසු ක්ෂේත්‍රවල මාධ්‍යවේදීන්ට ද එවැනි තර්ජන හමුවේ නොසැලී සිටීමට දැවැන්ත ආදර්ශයක් සහ ධෛර්යයක් සපයා තිබේ. වාරණ නියෝග ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුව මගින් පිළිගැනීමට ලක්වූයේ එවැනි විවේචන සිදු කිරීමට මාධ්‍යයට ඇති අයිතිය නීත්‍යානුකුල බවය.

මෙමගින් පොදු මහජන යහපත උදෙසා කරුණු අනාවරණය කරන ඕනෑම ක්‍රීඩා මාධ්‍යවේදියකුට ආරක්ෂාවක් සහ නීතිමය පුර්වාදර්ශයක් ෆවුස්ගේ නඩු තින්දුවෙන් ලැබි තිබේ. මේ සිදුවිමෙන් පසු මෙරට අනෙකුත් ප්‍රධාන ධාරාවේ පුවත්පත්, රූපවාහිනි නාලිකා සහ ඩිජිටල් මාධ්‍ය ද ක්‍රිකට් පරිපාලනයේ අක්‍රමිකතා පිළිබඳ වඩාත් විවෘතව සහ නිර්භිතව කතා කිරිමටත්, තොරතුරු සෙවීමටත් පෙළඹී තිබිණි. ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්වීම දක්වා මෙරට ක්‍රිකට් පරිපාලනය ඇදී ගියේ එම තත්ත්වය යටතේය.

 

492548847 10226632705790025 2106111841820817428 n

 

 

 

 

සටහන - ධර්මන් වික්‍රමරත්න 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න