දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල වලට බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට පාඩු සිදු කිරීම හරහා දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරු කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක් සිර දඬුවම් නියම කර තිබිණි.
එම දඩුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරු මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

