Language Switcher

V2025

දුම්රිය වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අප්‍රසාදය.....

ඉල්ලීම්වලට විසඳුම් දී තිබියදී මහජනයා අපහසුතාවට පත්වන ලෙස වැඩවර්ජනවල නිරත වීම ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සිය අප්‍රසාදය පළකර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරඇති බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනයේ උපුටනයක් පහතින්,

අද (16) දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් එනම්, වසර පහෙන් පහට ශ්‍රේණී උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරමින් අසාධාරණ ලෙස ක්ෂණික වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේදීම (01/22) දුම්රිය දෙපාරිතමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 ඇතුළත්ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටලුකාරී තත්වයන් මත අමාත්‍යාංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාරක්ෂමතාව මේ වනතෙක් කිසිදු නව බදවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම ඇතුළු කරණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025/05/07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එළැඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්වත්කර ඇත.

මෙම ඉල්ලීම්වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබා දී තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාව හා ගැටළු සාකච්ඡා මගින් විසදාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශය ලෙස අපගේ අප්‍රසාදය පළ කර සිටිමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් උප දෙපාර්තමේන්තු තුළ අඩු කාර්යක්ෂමතාවයක් තිබුණ ද අමාත්‍යාංශය මෙසේ සෑම ලෙසම මැදිහත්වීම සිදු කරමින් තිබිය දී අසාධාරණ ලෙස මහජනතාව පීඩාවට පත්වන අයුරින් වැඩවර්ජන දියත්කිරීම පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැක උපදවන අතර එම උවමනාව වනාහි අනෙකක් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සහ හුදු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්‍රයත්නයක් බව හැඟේ.

එසේම දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළහැකි සියලු මැදිහත්වීම අමාත්‍යාංශය හා රජය ලෙස සෑම අයුරකින්ම නොපසුබට ව සිදු කරන බව ද අවධාරණය කර සිටිමු.