ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි

ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදි කිරීමට සැලසුම් කර තිබූ සුළං බලශක්ති ව්‍යාපෘතිවලින් ඉවත් වීමට ඉන්දියාවේ අදානි සමාගම තීරණය කර තිබේ.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ, සිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ව අදාළ ව්‍යාපෘති දෙකෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට තීරණය කර කළ බවයි.

මන්නාරම සහ පූනරින්හි මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර එම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබුණු අතර, එහි අයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලයන 1 කි.

එම ව්‍යාපෘතිය සමග කිලෝවොට් 220 සහ කිලෝවොට් 400 සම්ප්‍රේෂණ ජාල පුළුල් කිරීම සම්බන්ධයෙන්ද තම සමාගම පසුගිය වසර 2කට වැඩි කාලයක් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම පවසයි.

සාකච්ඡා වට 14 කට වැඩි සංඛ්‍යාවකට පසු, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට වසර 20 ක් සදහා නියම කර ඇති තීරුබදු සඳහා අනුමැතිය ලබා දුන් බවත්, තම සමාගම ඊට අදාළ සියලුම නිෂ්කාශන සහ බලපත්‍ර සඳහා ද කටයුතු කළ බවත් , අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.

ඔවුන් පෙන්වා දෙන්නේ, මන්නාරම ව්‍යාපෘතියේ පාරිසරික අනුමැතිය සහ ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව හැරුණු විට සියලුම නිෂ්කාශන ලබාගෙන ඇති බවයි.

සමාගම ව්‍යාපෘතියට අදාළ පූර්ව සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5 ක් පමණ වැයකර තිබේ.

ව්‍යාපෘති යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවන බව වාර්තාවීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේදී සාකච්ඡා කළ බව අදාළ ලිපියේ සඳහන් ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතිවාසිකම් සහ තේරීම් වලට ගරු කරන අතර එම ව්‍යාපෘතියෙන් ගෞරවාන්විතව ඉවත් වීමට තීරණය කළ බව අදානි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා තිබේ.

ඔවුන් අවධාරණය කරන්නේ මෙරට ඉදිරි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් අදානි සමාගම විවෘත බවයි.

මේ අතර, සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට අදාළව අදානි සමාගම අල්ලස් ලබා දීමේ සිද්ධියක් මත ඇමරිකාවේ නිව්යෝක් අධිකරණයක නඩු තුනක් විභාග කිරීම ආරම්භ වී තිබේ.

අදානි සමූහය 2020 සිට 2024 දක්වා කාලය සඳහා සූර්ය බල සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ඉන්දියානු නිලධාරීන්ට ඉන්දීය රුපියල් කෝටි 2,100 ක අල්ලස් ලබා දුන් බවටත් එය වසන් කර ඇමරිකානු සමාගම් වලින් ආයෝජන ලබාගෙන ඇති බවටත් චෝදනා කරමින් නඩු පවරා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න