මාධ්‍ය කියන ආකාරයට විශේෂ හෝ අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකර නැහැ - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

මාධ්‍ය කියන ආකාරයට විශේෂ හෝ අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකර නැහැ - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කරගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතමෙකු නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් මහාචාර්යවරයා ඒ බව කීය.

'' ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යාමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මගින් මහ බැංකුව අරමුදල් රැස් කර ගන්නවා.

ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගේවිම් සිදු කරනවා.

මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත් වූවා යැයි කියා විශේෂයක් නැහැ.

අලුතෙන් ණය ගැනීම් සිදුකිරීමක් සිදුකර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස් කිරීමක් පමණයි සිදු කරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළඳපොලෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමක් සිදු කර නැහැ.

මාධ්‍ය මගින් පෙන්වා දෙන ආකාරයට දේශීය හෝ විදේශීය මූල්‍ය වෙළඳපොළෙන් අප ණය ලබාගෙන ඇත්දැයි සොයා බැලීමක් කළ යුතු යයිද මහාචාර්යවරයා අවධාරණය කළේය.

මූල්‍ය වෙළෙඳපොළ ස්ථායි කරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කළ යුතුයි.

දේශීය වෙළඳපොලෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන්, කොපමණ මුදලක් රැස් කර තිබේද? යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා මහාචාර්වරයා ප්‍රකාශ කළේය.

(ජේ. මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න