ජනපති යටතේ රේගුව වැඩ පෙන්නයි : මාස 8ට ආදායම රුපියල් ට්‍රිලියනයයි !

ජනපති යටතේ රේගුව වැඩ පෙන්නයි : මාස 8ට ආදායම රුපියල් ට්‍රිලියනයයි !

කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි. නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවත් ඔහු පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25%-30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා පෙන්වා දෙයි.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වය මගපෙන්වීම හා දායකත්වය සේම තම දෙපාර්තමේන්තුවේ කටයුතු ස්වාධීනව කිසිදු බලපෑමකට යට නොවී ක්‍රියාත්මක වීමේ නිදහස ලබාදීම මත මෙම තත්ත්වයට පහසුවෙන් ළගා වීමට හැකියාව ලැබුණු බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්‍රවේශවීමට හැකි වූ බවත්, අලුත් ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ සියලු නිලධාරීන්ට ක්‍රියාත්මකවීමේ පහසුව ගොඩනැංවීමට හැකියාව ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රමවේද ආශ්‍රිතව පැවති වංචා හා දූෂණ දුරු කරමින් හොර ජාවාරම් සම්පූර්ණයෙන් අත්හිටුවමින් වැඩකටයුතු කිරීමට සමස්ත රේගු කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය ද මීට මනා පිටිවහලක් වු බව සරත් නෝනිස් මහතා පවසයි.

ස්ථාන මාරුවීම් සහ සමස්ත රේගු පරිපාලන ක්‍රමවේද විධිමත්ව සිදු කිරීමටත් වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මක් යටතේ සමස්ත රේගු දෙපාර්තමේන්තුවම මෙහයවමින් එය නිතැතින් විමසමින් හා අත්‍යාවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදු කරමින් පරිපාලන කටයුතු තවදුරටත් සිදු කෙරේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න