Language Switcher

V2025

උරුමය රකින එජාපයට වසර 78යි : ජී.එල් - ගොඩහේවා - ඩලස් පෙරමුණේ සිටින සජබෙ එජාප ප්‍රතිපත්ති නැහැ !

ඩී.එස්.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක වැනි නායකයන් විසින් එදා රටට නිදහස දිනාගැනීම වෙනුවෙන් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය පසුව දෙකඩ වී පක්ෂ දෙකක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරන අද වනවිට රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා එම පක්ෂ දෙක යළි එක්ව සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට වෙනුවෙන් එකට එක් වූ විට කෑ ගහන සජබට අද එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම මුල්තැන ගත් එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නොමැති බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ මොරවක ප්‍රදේශයේ අද (06) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

අනුර කුමාර දිසානායක ද අද ආණ්ඩුව යන මග යමින් අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව ප්‍රකාශ කරන බව පැවසු ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධි ප්‍රකාශ පිළිබඳ ජාතික ජන බලවේගය රටට පැහැදිළි කළයුතු බවද සඳහන් කළේය.

ජාතික ජන බලවේගය වෙනසක් කරන බව කියමින් රට මුලා කළද පිටු 232ක් වූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනසක් ගැන කිසිදු සඳහනක් නොමැති බවත් ඔවුන් සිදු කරන බව පවසන වෙනස “හිස්” බවත් පැවසු ජනාධිපතිවරයා රටට අවශ්‍ය දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන බවද අවධාරණය කළේය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද මට විශේෂ දවසක්. එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා වැනි නායකයන් එක්ව මේ රටට නිදහස ලබාදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඇති කළා. ඉන් පසුව වෙන්ව ද්වි පක්ෂ ක්‍රමය ඇති වුණා. අද යළිත් රටේ ආර්ථික නිදහස වෙනුවෙන් විශාල තර්ජනයක එල්ල වු අවස්ථාවේ රට බේර ගැනීමට අපි සියලුදෙනා එක්වෙලා ඉන්නවා.

අප එකට එක්වුණා කියා ඇතැමුන් කෑ ගැහුවා. එහෙම කෑ ගහන්නේ පැනලා ගිය අය. අද සජබ ට එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නැහැ. ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම එක්ක ඉන්න අයට එක්සත් ජාතික පක්ෂය කියන්න බැහැ. අද ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අමතක කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ලෙස අප රට අසීරුතාවකට පත් වු සෑම අවස්ථාවකම එක්ව වැඩ කරන්න සූදානම්. අප එසේ නොකළානම් අද මෙහි සිටින බොහෝ දෙනෙක් හාමතේ මිය යනවා. ඖෂධ නැතිව මිය යනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපි හැම වෙලාවම ඇත්ත කියනවා.

ඩී.එස්. සේනානායක මැතිතුමා, ජේ.අර්. ජයවර්ධන මැතිතුමා සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අපිට ඉගැන්වුවේ ඇත්ත කියන්නයි. ඒ නිසා තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනෙක් පක්ෂ විවිධ ප්‍රකාශ සිදු කරද්දි අපි ඇත්ත කථා කළේ. රටේ ආර්ථිකය බංකොළාත් වෙන්න යනවා කියලා අපි එදා කිව්වා.

ඒ අනුව අපි අපේ මැතිවරණ ප්‍රකාශයේ මෙසේ සඳහන් කළා. “ අප බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මාර්ග ඔස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 6000ක මුදල් සොයා ගැනීමටයි”. එදා අප බොරු කියනවා කිව්වා. අපට සැලැස්මක් නැහැ කිව්වා. අවසානයේ ඡන්දයෙන් අපි පැරදුනා. මට බොහෝ දෙනෙක් කිව්වා ඇයි ඇත්ත කිව්වේ බොරු කිව්වනම් දිනන්න තිබුණා කියලා. මම කිව්වා මම ඇත්ත වසන් කරන්න ලෑස්ති නැහැ කියලා. එදා අපි කියපු විදිහට රටේ ආර්ථික අර්බුදය ඇති වුණා.

ඒ අවස්ථාවේ කිසිවෙක් භාර නොගත් රට භාරගත් අපි රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා. ඒ වගේම ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. අපි දැන් මේ ආර්ථිකය තහවුරු කරගෙන ඉදිරියට යා යුතුයි. ඒ වැඩ සැලැස්ම “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් මම රටට ඉදිරිපත් කර තිබනෙවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර වසර 05කින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට මම කටයුතු කරනවා.

එහිදී ජනතාවට තවදුරටත් සහන සැලසීමට අප කටයුතු කරනවා. නමුත් එය විපක්ෂය කියන විදිහට කරන්න බැහැ. එහෙම කළොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. නමුත් අපි දැන් ගෙන යන වැඩපිළිවෙළ ස්ථීර වැඩපිළිවෙළක් බව කිවයුතුයි.

මේ රටේ 52%ක් වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් අපි පිළිගෙන තිබෙනවා. අනෙක් පක්ෂ වගේ නෙවෙයි කාන්තාවන් වෙනුවෙන් අපි වෙනම මැතිවරණ ප්‍රකාශනයක් එළිදක්වා තිබෙනවා. එය මගේ වෙබ් අඩවියේ තිබෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අපි සම්මත කළා. එමගින් මේ රටේ කානාත්වන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙනවා. අප දැන් එය ක්‍රියාත්මක කරනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කථා කිරීමට මෙතෙක් නීතියක් තිබුණේ නැහැ. නමුත් අපි එය වසර දෙකක් තුළ ගෙනාවා.

ඒ වගේම කාන්තා සහ ළමා හිංසනය වැළැක්වීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ යටතේසෑම පොලිස් සථානයකම කාන්තා හා ළමා හිංසනය මැඩපැවැත්වීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම යුක්තිය මෙහෙයුම හරහා ඔබේ දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර දෙනවා. ගෘහස්ථ හිංසනය මැඩපැවැත්වීමට නීතියේ සහාය ලබා දෙන ක්‍රමයක් අපි ඇති කරනවා. එවන් වැඩසටහන් ගණනාවක් අප ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම අප කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කර මේ පළාත්වලට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි. සිංහරාජය සංචාරක කලාපයක් බවට පත් කර මේ ප්‍රදේශය දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වන ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යනවා.

ඩිජිටල් සහ නිෂ්පාදන ආර්ථිකයක් අපි මේ රටේ ඇති කරනවා. ඒ වෙනුවෙන් රට පුරා ආයෝජන කලාප ඇති කරනවා. මේ සමඟ විදේශ ආයෝජන ගෙන ඒමට ද අප කටයුතු කරන බව මා ප්‍රකාශ කරනවා.

අපි මේ කටයුතු සිදු කරන විට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතා සැපැතැම්බර් 04 වනදා කැළණියේ දී ප්‍රකාශ කර තිබෙනවා “අපේ මිලියන 3.8ක මාර්කට් එකෙන් අපට යන්න බැහැ. මේ මාර්කට් එකෙන් එළියට අපි යන්නේ නැහැ. ඒ නිසා අපි මේ කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා එළියට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා” කියලා.
ඒ කියන්නෙත් අපනයන කර්මාන්තයේ රැදෙන්න කියලයි. අනුර දිසානායක මන්ත්‍රිතුමා අප යන මාර්ගයේ යන එක හුඟක් හොදයි. නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. අපනයනය කරන්න නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි. අනුර කියනවා අපනයන ආර්ථිකයකට යනවා කියලා. පක්ෂය ඒකට දම්වැලක් දමා තිබෙනවා.

මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට විරුද්ධව සුනිල් හදුන්නෙත්ති මහතා සහ ඒ අයගේ ආර්ථික උපදේශක හර්ෂන සුරියප්පෙරුම නඩුවක් දාලා කියනවා “ආනයන ආදේශක නොසලකා හැරීමට ලක් කරන අපනයන ආයෝජනා මත පදනම් වූ ආර්ථිකයක් සදහා වැඩි වශයෙන් අනුග්‍රහය දක්වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තුන්වන සහ හතරවන වගන්තිවලට පටහැනියි” කියලා.

අනුර කියනවා අපි අපනයන කර්මාන්තයට යනවා කියලා. හඳුන්නෙත්ති කියනවා බැහැ ආනයන කර්මාන්තයේ සිටිය යුතුයි කියලා.

ඒ වගේම විදේශ ආයෝජකයන්ව පැත්තකට දාන්න කියලා ඔවුන් කියනවා. මෙහෙම සළකන විට ඔවුන් එයිද, ඒ නිසා අනුර දිසානායක මහතා මේ පරස්පර විරෝධි කරුණු අපට පැහැදිළි කළ යුතුයි.

අද ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යනවා. ජාතික ජන බලවේගය තව පැත්තකට යනවා. මාලිමාවට කොයි පැත්තට කැරකෙන්නද යන්නේ කියලා හිතාගන්න බැහැ.
ජාතික ජන බලවේගය කියනවා වෙනසක් ගේනවා කියලා. ඔවුන් කරන වෙනස මොකක්ද කියලා මම අහනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232 කියවූ විට කිසිම වෙනසක් නැහැ. වෙනස කරන්නේ අපියි.

රටේ ආර්ථිකය වෙනස් කර අපනයන ආර්ථිකයකට අපි යනවා. අපි මේ රටේ ජනතාව ලක්ෂ 20කට “අයිතිය” ලබා දෙනවා. එයයි වෙනස. අපි නව අධ්‍යාපන වැඩසටහන් ගෙනාවා. පාර්ලිමේන්තුවේ කන්තා හා තරුණ නියෝජනය ගෙන ආවේ අපියි. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සඳහාද එය ගෙනවිත් තිබෙනවා.

එපමණක් නොවෙයි ජන සභා ඇති කර කාන්තා හා තරුණ නියෝජනය වැඩි කර තිබෙනවා. පුද්ගලයන් ලක්ෂයක් එකතුව පෙත්සමක් අත්සන් කර එව්වොත් පාර්ලිමේන්තුවේ එම විෂය වාද කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කර තිබෙනවා. මේවයි වෙනස්කම්. ඒ හැර වෙනස “හිස්” නම් වෙනස් කරනවා කිව්වට වැඩක් නැහැ.

දුෂණය වැළැක්වීමට අප දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ගෙනවිත් දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධි පනත අනුමත කර ගැනීමට කටයුතු කරනවා. මේ අය දූෂණය ගැන කථා කරනවා. නමුත් අපි කතා කරන්නේ නැහැ දුෂණයට වැට බදිනවා. ඒ වගේම අපි සමාජ සාධාරණත්ව කොමිසම ගෙනවිත් තිබෙනවා. මේ රටේ ඡන්ද ක්‍රම වෙනස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232ක් තිබුණාට අනාගතය ගැන කරුණු නැහැ. මම කැමතියි, අනුර කුමාර දිසානායක අපට මේ කරුණ පැහැදිළි කරලා දෙනවා නම්. නමුත් පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන වැඩපිළිවෙළයි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගහන්න කියා මම ඉල්ලනවා.

IMG 20240906 WA0010