ශානිගේ ආරක්ෂාව : ශ්‍රේෂ්ඨාධිකරණයට අතිශය රහසිගත වාර්තාවක් !

ශානිගේ ආරක්ෂාව : ශ්‍රේෂ්ඨාධිකරණයට අතිශය රහසිගත වාර්තාවක් !

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (29) දැනුම් දුන්නේ ය.

තමන්ට සපයා තිබෙන ආරක්ෂාව දැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට ලබාදී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය කියා සිටියේ පෙත්සම්කරුට මේ වනවිට ආයුධ සන්නද්ධ නිලධාරීන් සහිතව පොලිස් නිලධාරීන් දස දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බවය.

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදී තිබෙන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම මාර්තු මස 12 වනදා සිදු කිරීමට දින නියම කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න