ශ්‍රී ලංකාව වසර පුරා ම පවතින සංචාරක ගමනාන්තයක් ලෙස පරිවර්තනය කරනවා - ඉරාන්

ශ්‍රී ලංකාව වසර පුරා ම පවතින සංචාරක ගමනාන්තයක් ලෙස පරිවර්තනය කරනවා - ඉරාන්

ශ්‍රී ලංකාව ශීත සෘතුමය සංචාරක ගමනාන්තයක සිට වසර පුරා සංචාරක ගමනාන්තයක් සහිත රටක් ලෙස පත් කරන බව ස.ජ.බ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියා ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය කළේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලස්ම පිළිබඳව  කොළඹ පැවති තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානයේ සම්මේලනයේ දි ය.

මේ සඳහා සියයකට අධික රටවල සංචාරකයන්ට වීසා අවශ්‍ය නොමැති නම්‍යශීලී ක්‍රමයක් බවත් එය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටවූ වහාම ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසී ය.

එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ ඉරාන් වික්‍රමරත්න...

 ස.ජ.බ රජයක ක්‍රියාකාරි සැලැස්ම

‘‘පුරාණ සංස්කෘතික නගර, වනජීවී, උත්සව ආදී සෑම කාල වකවානුවකම පවතින ආකර්ෂණීය ස්ථාන ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී වෙළඳපළ ප්‍රදර්ශණ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රචාරණයක් සිදු කරනවා. අපට ඇති සාම්ප්‍රදායික සංචාරක ව්‍යාපාරය වන්නේ ශීත ඍතුවේ දී සංචාරකයින් පැමිණීම යි. අපගේ අරමුණ වෙනස් කිරීමයි.

මැතිවරණ ජය ගැනීමට එහා ගිය පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා රටේ පාලන තන්ත්‍රයට ඇතුළත්වන විවිධ කරුණු ක්ෂේත්‍ර විසි හතකට බෙලා එක් එක් ක්ෂේත්‍ර සඳහා වසර දෙකක් තිස්සේ විද්වතුන් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ස.ජ.බ රජයක පළමු දින සිට ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලස්ම ද මේ වෙද්දි සම්පාදනය කර අවසන්.

අපි අනුගමනය කරන්නේ සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්ති

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන සමගි ජන බලවේගය අපේ රජය යටතේ සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මහතා අන්ත වාමාංශිකෙයකු හෝ අන්ත දක්ෂිණාංශිකයෙකු නොවෙයි. ඔහු මූලික වශයෙන් අනුගමනය කරන්නේ සමාජ වෙළෙඳපොළ ප්‍රතිපත්ති සම රාජ්‍ය පාලනයේ මැද මාවතක්.

අපි නිදහස් වෙළඳපොළ විශ්වාස කරනවා පමණක් නෙවෙයි... සියල්ල ඇතුළත් සංවර්ධනයක් සහිත සාධාරණ සමාජයක් ගැනද විශ්වාස කරනවා.

අපි සංචාරක ක්ෂේත්‍රය ලොවට ම විවෘත කරනවා

ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ පුරුදු වෙලා තියෙන්නේ මැතිවරණයක් කෙසේ හෝ ජය ගැනීම ඉලක්ක කර ගෙන අවස්ථාවට මැතිවරණ ප්‍රකාශනයක් නිකුත් කිරීම. එහෙම නිකුත් කරාට පස්සෙ ඒක ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙළක් නැති නිසා රට අගාධයට ඇද වැටුණු අවස්ථා බොහෝමයි. හොඳම නායකයා සහ හොඳ ම කණ්ඩායමක් ඉන්න ස.ජ.බ ය බංකොලොත් වී තිබෙන රටට අවශ්‍ය ඩොලර් හා ප්‍රේෂණ ලබා ගැනීම උදෙසා ප්‍රථමයෙන් සංචාරක ක්ෂේත්‍රය ලොවටම විවෘත කරනවා.

අපේ රටේ පාලකයන් හා ජනතාව තම දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි. අපි බලයට පත්වූ වහාම සියයකට වැඩි රටවල සංචාරකයන්ට වීසා නොමැතිව මෙහි පැමිණීමට අවසරය දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සෘතුමය සංචාරක ගමනාන්තයක් වෙනුවට වසර පුරා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධ කරමින් එයට අදාළ සංස්කෘතික, උත්සව ඓතිහාසික ස්ථාන පිළිබඳ පුළුල් උපාය මාර්ගික සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරනවා.

නැති බැරිකම නිසා මවුවරු දරුවන්ට කිරි දෙන්නෙ නෑ

අද රටේ පෙනෙන්නට තිබෙන්නේ බොහොම දුර්වල හා පසුගාමී සමාජ ත්ත්ත්වයක්. පෝලිම් නැති කර රට ස්ථාවර කර තිබෙනවා යැයි කියන්නට උත්සහ කරන පිරිසක් ඉන්නවා. අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡාව සාර්ථක කරගෙන පෝලිම් නැති කරගෙන තියෙන්නේ රටේ බොහෝ ජනතාවගේ ජීවිත අතිශයින් දුෂ්කරතාවයට පත් කරලා. දරුවන්ට කිරි දෙන අම්මලාගෙන් සියයට විසි පහක් නැති බැරිකම නිසා දරුවන්ට කිරි දීම නවතා දමා තිබෙනවා. මෙම රජය බලයට පත්වෙද්දි දරිද්‍රතා රේඛාවෙන් පහළ හිටපු මිලියන තුනක ජනතා සංඛ්‍යාව පසුගිය වසර තුන තුළ මිලියන හත දක්වා වැඩිවීමෙන් රටේ ජනතාවට අත්වූ ඉරණම පැහැදිලි වෙනවා.’’

(සටහන - ජයසිරි අලවත්ත)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න