ලබන වසරේ සිට තරුණ තරුණියන්ට රැකියා - ජනපති රනිල්

ලබන වසරේ සිට තරුණ තරුණියන්ට රැකියා - ජනපති රනිල්

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ ඊයේ (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි.

“දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.

මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.

එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහකට එක්විමට ද අමතක නොකළේය.

මෙහිදී තරුණයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ දී පළපුරුද්ද පිළිබඳ නොතකා එම බඳවා ගැනීම් සිදු කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Youth Programme 06

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න