ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් වෙයි

ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් වෙයි

ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවත් ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් කර ඇති අතර එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවත් ය. එසේ ම ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන් ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතු ව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද කී ය.

ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය. වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසි සේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් සාවද්‍ය මත පැතිර යන බව කී අමාත්‍යවරයා කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවත් එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100ක ක්‍රියාත්මක ව ඇති බවත් ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවත් එම ගුරුවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ රට හැර නොයන ලෙස බවත් පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න