නාමල් අගමැති කරන්න ජනපතිට බලපෑම් : අගමැති කතාව නාමල්ගේ කටිනුත් පනියි !

නාමල් අගමැති කරන්න ජනපතිට බලපෑම් : අගමැති කතාව නාමල්ගේ කටිනුත් පනියි !

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂකයත්වය සඳහා පොදුජන පෙරමුණේ සහාය අවශ්‍ය නම් අගමැති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ලබාදිය යුතු බවට රාජපක්ෂවරුන් වෙතින් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු වෙතින් ද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් වත්මන් ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වෙත ඉදිරිපත් වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ද සිදුකර ඇත.

එහිදී ඔහු පවසා සිටින්නේ , අපේක්ෂකයා එළියෙන් එනවා නම් තම පක්ෂයට අගමැති ධූරය ලැබිය යුතු බවය.

එසේම අගමැති ධූරය ලබාදීම ද තමන් සමඟ නොව පක්ෂය සමඟ සාකච්ඡා කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ රටට ගැලපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ පක්ෂයට තිබෙන තැන ගැන අපි තීරණය කළ යුතු වෙනවා.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අදහස වන්නේ තමන්ට සහාය දෙන සන්ධානයේ වැඩිම මන්ත්‍රී පිරිස තෝරාපත් වන පක්ෂයට අගමැති ධූරය ලබාදීමට බවය. එහිදී ධූරය ලබාදෙන්නේ කාටද යන්න තීරණය කිරීම එම පක්ෂය තීන්දු කළ යුතු බව ජනාධිපතිවරයාගේ වැඩිදුර ස්ථාවරය බවද සඳහන් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න