සිනමා කර්මාන්තයට සුබ පුවතක් !

සිනමා කර්මාන්තයට සුබ පුවතක් !

මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග පැවසීය.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද ඔහු කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මේ බව සඳහන් කර සිටියේ මෙරට සිනමාව නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව පසුගියදා (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සිනමා කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මෙසේද පැවසීය.

මෙරට සිනමා කර්මාන්තයේ පවතින ප්‍රශ්න සමාජයේ පවතින අනිකුත් ප්‍රශ්න හා සමානයි. මෙරට සිනමාව රැක ගැනීම වෙනුවෙන් ප්‍රවේශ විය යුතු කාලය එළැඹ තිබෙනවා.

ඒ වෙනුවෙන් පොදුවේ අයවැයකට හෝ ප්‍රතිපත්ති මාලාවකට ඉදිරිපත් කළ හැකි යෝජනා පොදු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. 1993 සිට ආරම්භ වූ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප සම්බන්ධව සෑහීමකට පත්වෙන්න බැහැ. එබැවින් එම විශ්‍රාම වැටුප සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා රජයට කරුණු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙරට සිනමා කර්මාන්තය ආරක්ෂා වීමට නම් කලාකරුවන්ගේ සුබසාධනය ද වැදගත් වනවා. එම නිසා සිනමා කර්මාන්තය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :

කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙනවා. වයස්ගත වන විට වෘත්තීය කටයුතුවල නිරත වීම අපහසුයි. එබැවින් ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපි පිළිගන්නවා.

සිනමා කර්මාන්තය වෙනුවෙන් සහ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වන ඔබගේ යෝජනා මාලාව කඩිනමින් අප වෙත ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඉතා කෙටි කාලයක් තුළ අදාළ යෝජනා මාලාව ලබා දුනහොත් මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව කිව යුතුයි. ඒ වගේම මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දැනුම්වත් කිරීමට ද පියවර ගන්නවා.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න