චම්පික ජනපති හමුවෙයි !

චම්පික ජනපති හමුවෙයි !

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි.

ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බවයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී කළ ඉල්ලීමට ද, ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එක්ව සිටියහ.

IMG 20240224 WA0008

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න