සාගල ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් අමතයි !

සාගල ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් අමතයි !

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කළේය.

ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගියදා සිංගප්පූරුවේ දී පැවති 20 වන ෂැංග්‍රිලා සංවාදය අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි.

ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන ෂැංග්‍රිලා සංවාදය පසුගිය ජූනි 02 වනදා සිට 04 වනදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්විණි.

ජූනි 02 වනදා ආරම්භ වූ සමුළුවේ ප්‍රධාන දේශනය ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉන්දියාව, ඕමානය, ප්‍රංශය, පාකිස්ථානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.

ස්ථාවර සහ සමතුලිත ආසියා පැසිෆික් කලාපයක් ඇති කිරීම, කලාපීය ගැටලු විසඳීම, ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාවේ විකාශනය, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද නායකත්වය ඇතුළු විවිධ තීරණාත්මක භූ-දේශපාලනික ගැටළු පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණි.

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කළ සාගල රත්නායක මහතා ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද පැහැදිළි කළේය.

මහා බලවතුන්ගේ එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු නාවික ගමනාගමනය සහ ගුවන් ගමන්වල නිදහස ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පැහැදිළි කළේය.

මේ අතර සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු ෂැංග්‍රිලා සංවාදය සඳහා එක්ව සිටි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සාගල රත්නායක  කටයුතු කළේය.

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළ සාගල රත්නායක මහතා පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී සිංගප්පුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව කෘතඥතාව පළ කළේය.

ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ වරාය සහ සැපයුම් ක්ෂේත්‍රවලට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ග්‍රෙග් මොරියාටි මහතා සහ සාගල රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවේදී සමුද්‍රීය ආරක්ෂාව, මිනිස් ජාවාරම් මැඩලීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ මාණ්ඩලික කමිටුවේ ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා සහ සාගල රත්නායක  අතර හමුවක් ද පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කර ගැනීම කෙරෙහි එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

තවද, සාගල රත්නායක සහ එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් විධානයේ ආඥාපති අද්මිරාල් ජෝන් ඇක්විලිනෝ මහතා අතර පැවති හමුවේ දී ඉන්දීය සාගර කලාපයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සාගල රත්නායක මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ (ICRC) ආසියා සහ පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් සිපොල්ලා මහත්මිය සමඟ පැවති හමුවේ දී කලාපයට අදාළ මානුෂීය ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සාගල රත්නායක මහතා විසින් අවධාරණය කළේය.
සාගල රත්නායක මහතා සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිසිරි මහතා අතර හමුවක්ද පැවැත්වණු අතර දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණ.

මේ අතර සාගල රත්නායක  සහ යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ මහතා අතර හමුවක් ද මෙම සමුළුවට සමගාමීව සිදු විය.

සිංගප්පූරුවේ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන්ග් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) විසින් පවත්වන ලද වට මේස සාකච්ඡා දෙකකට ද සාගල රත්නායක මහතා සහභාගී වූ අතර කලාපයේ ප්‍රධාන ආරක්ෂක ගැටළු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමේ වේදිකාවක් වූ එම අවස්ථාවන්ට ෂැංග්‍රිලා සංවාදයට සහභාගී වූ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් 29දෙනෙකු පමණ එක්ව සිටියහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න