නව පාර්ලිමේන්තු මහලේකම්වරිය රාජකාරී අරඹයි

නව පාර්ලිමේන්තු මහලේකම්වරිය රාජකාරී අරඹයි

පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ කුෂානි රෝහණදීර  සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද(23) පෙරවරුවේ සිදුවිය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන  ඉදිරියේ නව මහලේකම්වරිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද එක්කිරීම සිදු කළහ. ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, කථානායකවරයා විසින් සහතික කිරීමට නියමිත රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සත්‍ය පිටපතක් බව සහතික කරමින් ඇය පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයේ රාජකාරී ආරම්භ කළාය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා, රෝහණදීර මහත්මියගේ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ගරු ජනාධිපතිතුමා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර , 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන  නිවේදනය කළේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක, එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බවද කථානායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇති රෝහණදීර,  කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. එසේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LL.B.) උපාධිය ද හිමි ඇය නීතිඥවරියකි.

1999 වසරේදී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට එක්විය. අනතුරුව සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී යන තනතුරුවලට උසස්වීම් ලැබුවාය.

පාර්ලිමේන්තු සේවයට සම්බන්ධවීමට පෙර ඇය සම්පත් බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක, පරිසර පදනමේ කනිෂ්ඨ විද්‍යාඥවරියක, ජාතික අධ්‍යාපන ආයතනයේ (දුරස්ථ අධ්‍යාපනික) අධ්‍යක්ෂවරයාගේ ලේකම්වරිය, ඉන්ෆොමැටික්ස් පෞද්ගලික ආයතනයේ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එසේම ඇය ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ පුහුණුවීම් ලබා ඇත.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න