සරසවි ඇදුරන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වෙයි

සරසවි ඇදුරන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වෙයි

අ.පො.ස. උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කළ බව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසීය.

ජනතාවගේ ඉල්ලීමට සවන්දෙමින් ඔවුන්ට මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය විසඳීමට තීරණය කර වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කීය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් විශ්වවිද්‍යාල අධ්‍යයන සහ පරිපාලන කටයුතුවලින් ඉවත් වී මාර්තු 09 වන දා ආරම්භ කරන ලද වැඩ වර්ජනය දින 56කට පසුව මෙලෙස අවසන් කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය යනු දේශපාලන බලාධිකාරියේ තර්ජනවලට හෝ ඔවුන්ගේ බලය ඉදිරියේ හිස නමන සංගමයක් නොවන නමුත් ජනතාවගේ ඉල්ලීම්වලට හිස නමා අචාර කරන වෘත්තීය සමිතියක් බව ද ඔහු සඳහන් කළේ ය.

විවිධ පිරිස් වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමට කාලපරිච්ඡේද ලබා දෙමින් ඒ අනුව කටයුතු නොකරන්නේ නම් සිර දඬුවම් හෝ දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව පැවැසූ නමුත් ඒවාට තම සංගමය යටත් නොවුණු බව ද ඔහු පැවසීය.

තම සංගමය මතු කරන ලද ගැටලුව තවමත් එසේ ම තිබෙන නමුත් ඒවා නිරාකරණය කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා ද යන්න සාකච්ඡා කරන බව ත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරගෙන පැමිණි ආකාරය පමණක් නතර කරන බව ත් හෙතෙම කීය.

ඕනෑ ම වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී ඒ වෘත්තිකයන්ගේ සේවය ලබන පිරිසට යම්කිසි අපහසුතාවක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් බවත් අවාසනාවකට මෙහිදී තම සේවය ලබන පිරිස ශිෂ්‍යයන් වූ බව ද ඔහු සඳහන් කළේ ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අවදානමට ලක්වන පිරිස ශිෂ්‍යයන් බව දන්නා ආණ්ඩුව තම සංගමයේ ඉල්ලීම්වලට සවන් දීමට තටයුතු කරනු ඇතැයි තම සංගමය අපේක්ෂා කළ බව ඔහු පැවසීය.

ආණ්ඩුව රටේ අනාගත පරපුරට දැඩි අවධානයක් ලබා දී තිබේ නම් වෘත්තීය සමිති ඉල්ලා සිටින ලද සාධාරණ ඉල්ලීම්වලට සවන් දීමට තිබුණ නමුත් රජයට එවැනි අවශ්‍යතාවක් නොතිබුණු බව පැහැදිලි යැයි ඔහු සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ලබාදුන් බවට විවිධ පුද්ගලයන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණ ද ජනාධිපතිවරයා සමග කිසිදු සාකච්ඡාවක් ලබා නොදුන් බවත් ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණියාට පසු එම සාකච්ඡාව ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළ බව ත් ඔහු වැඩිදුරටත් පැවැසුවේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න