ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙළට IMF සහය - සාගල

ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙළට IMF සහය - සාගල

ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය  ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය  පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක මෙම අදහස් පළ කළේ, වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවති  සාකච්ඡාවට එක්වෙමිනි .

උපයන විට අයකරනු ලබන බද්ද ඉවත් කර ගැනීම පිළිබඳ මාර්තු 08 හා 09 දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ආර්ථිකමය වශයෙන් රට පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන  අත්‍යාවශ්‍ය සේවාවන් හා අනෙකුත් සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදෙන ලෙස  සාගල රත්නායක මහතා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන්  ඉල්ලා සිටියේ ය.
බදු පැනවීම නිසා වෘත්තිකයන් පත්ව ඇති අපහසුතාව රජය තේරුම් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරියේ දී ගෙන ඒමට කටයුතු කරන බවත් රත්නායක මහතා පැවසීය.එම නිසා වෘත්තීය සමිති නායකයින් ලෙස රට අස්ථාවර කරන කිසිදු උත්සාහයකට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටි  සාගල රත්නායක මහතා එසේ වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව ද සඳහන් කළේය.

තම මාසික ආදායම මත අයකරනු ලබන බදු ප්‍රතිශතය නිසා  එදිනෙදා වියදම් සහ ගෙවිය යුතු බැංකු ණය වාරික කළමනාකරණය කර ගත නොහැකි බවත්, වැඩිවන විදුලි බිල්පත නිසා එය තවත් උග්‍ර වී ඇති බවත් වෘත්තීය සමිති නායකයින් මෙහිදී පෙන්වා දුන් අතර උපයන විට බදු අය කිරීමේ ප්‍රතිශතය සංශෝධනය කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම රජයේ බදු දැලට හසු නොවූ පිරිස් තවමත් සිටින බැවින් ඔවුන්ව සොයා බදු දැලට හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු ආදායමක් ලබා ගත හැකි බව ද වෘත්තිය සමිති නායකයෝ  පෙන්වා දුන්හ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සභාපති මොහොමඩ් උවයිස්,  ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීර්ති බර්නාඩ්, ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන්,  රාජ්‍ය බැංකු සාමාන්‍යධිකාරීවරුන් හා රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න