මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරනවා - ආරක්ෂක ඇමති

මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරනවා - ආරක්ෂක ඇමති

රටේ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑ ම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තමාට උපදෙස් දී ඇති බව ද හෙතෙම කීය.

අනාගත දරු පරපුර විනාශ කිරීම වහා නතර කරන ලෙස තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් කුමන ආකාරයකින් හෝ නතර කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය උවදුර හා පාතාලය මැඩලීම වැනි කාරණා පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පිළිබඳව මේ වසරේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එබව අවධාරණය කර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ලේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

 “මත්ද්‍රව්‍ය-මිනීමැරුම්-ස්ත්‍රී දූෂණවලට මරණ දඬුවම දිය යුතුයි”

 මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම්වලට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලයුතු බව තමාගේ පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත් ඒ සියල්ල මුලිනුපුටා දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

මෙවැනි අපරාධ සිදු කරන පිරිස මේ සියල්ල වහා නතර කිරීමට පියවර නොගන්නේ නම් ඔවුන් කොහේ හෝ සැඟව සිටිමින් මේ ව්‍යාපාර මෙහෙයවුවත් ඒ සියලු දේ විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවැසීය.

තව ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දීමට 118 ක්‍ෂණික දුරකතන අංකය ඔස්සේ හැකියාව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මහ ජනතාවගේ සහයෝගය ඉතා වැදගත් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසුවේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න