රට යළි ගොඩනැඟීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් - ජනපති

රට යළි ගොඩනැඟීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් - ජනපති

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට බව පැවසූ ජනාධිපතිවරයා අප තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බව පැවසීය.

සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වැඩපිළිවෙල මේ වන විටත් රජය අරඹා ඇති බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට යෝජනා කර තිබෙන බව ද සඳහන් කළේය.

2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමිව “ජාතික තරුණ වේදිකාවක්" නිර්මාණය කර තිබෙන බවත්, සිංගප්පූරුව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය මෙන් දියුණු ආර්ථිකයක් කරා අප යන ගමනට අත්වැලක් වන අයුරින් එම තරුණ වේදිකාව පැවැත්විය යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහභාගී වන ලෙසද තරුණ තරුණියන්ට ආරාධනා කළේය.

ගෝලීය අර්බුදයක් වී ඇති දේශගුණික විපර්යාස ගැටළු අවමකර ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ අර්ථවත් අදහස් ලබාගැනීම සඳහා දියත් කළ දේශගුණික විපර්යාස වැඩසටහන සමඟ එක් වන ලෙස ද ජනාධිපතිවරයා ලියෝ සාමාජිකයන්ට ආරාධනා කර සිටියේය.

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජ විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබු “බීජ පත්‍රිකාව" ඇගයීමට ලක් කළේය.

306 C – 2 ලියෝ සමාජයේ දිස්ත්‍රික් සභාපති ලියෝ ඉඳුනිල් උදාර පලිහවඩන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත සමරු තිළිණ පිළිගැන්වූ අතර ලියෝ සාමාජිකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, සිංහ ලසන්ත ගුණවර්ධන, සිංහ සමාජයේ දිස්ත්‍රික් අධිපති සිංහ බෙනට් ගම්ලත්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක, ප්‍රධාන ශිෂ්‍ය නායක කවිෂ රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221211 WA0006

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න