Language Switcher

V2025

නියඳගල වන අරණත් අවසන් !

මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගම්මැදගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි සුන්දර සහ ⁣⁣⁣ඓතිහාසික නියඳගල කන්ද අද වන විට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතී.

ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකතන සංඥා කුළුණු සවිකිරීමට දරන උත්සාහයත් සමගයි.

2021 අගෝස්තු 18 දුරකතන සංඥා කුළුණු ඉදිකිරීම සඳහා ආයතනයක් විසින් කිසිදු අවසරයකින් තොරව උත්සාහ දරන අවස්ථාවේදී අප සහ ගම්මු ඉදිරිපත්ව දක්වනු ලැබූ විරෝධය නිසා අදාළ දුරකතන සංඥා කුළුණ ඉදිකිරීම එම ආයතනය විසින් තාවකාලිකව නවතා දමන ලදී.

නැවතත් 2021 ඔක්තෝබර 02 එම දුරකතන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අදාළ සමාගම එම ස්ථානයට පැමිණ මැනුම් කටයුතු ආරම්භ කරන ලදී.

2022 ඔක්තෝබර් 18 අදාළ පුද්ගලික දුරකථන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් එහි සේවකයන්, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් හා පොලීසිය පැමිණ අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී.

IMG 20221102 WA0021එහිදී ජනතාව මෙම කුළුණ ඉදිකිරීමට විරුද්ධ බව පැවසුවද, ප්‍රාදේශීය ලේකම්වරිය එයට සවන්දීමකින් තොරව දුරකතන සංඥා කුළුණ ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ස්ථානය ද, එම දුරකතන කුළුණ ඉදිකිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් වනාන්තරය මැදින් කිලෝමීටර් එකක පමණ මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් ද එහිදී සාකච්ඡා කරන ලදී.

මුලටියන ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියාකලාපයත්, දුරකතන කුළුණ හිමි සමාගමේ ක්‍රියාකලාපයත් අපි දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින්නෙමු.

එයට හේතුව, මෙම කුළුණ ඉදිකරන ප්‍රදේශයේ ස්වභාවික වනාන්තරය මෙන්ම සතා සිවුපාවාට උරුම ගහකොළ, මෙම කුළුණ සහ මාර්ගය ඉදිකිරීම නිසා විනාශ වී යෑමේ අවදානමක් පවතින නිසා ය.

නියඳගල වන වදුල අක්කර 14කින් යුතු අතර, ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් උල්පත් රාශියක් මෙම කන්දෙන් ආරම්භ වී මුලටියන හා හඳුගල ප්‍රදේශයට කුඩා ජල දහරාවන් ලෙස ගලා යනු ලබයි.

ස්වභාවික ශාක, සත්ත්ව සංහතියක් පි⁣රිවරාගෙන සිටින මෙම හුදෙකලා කන්ද, "නියඳගල" යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයේ නියඳ (Sansevieria zeylanica) නම් ඖෂධ තිබෙන නිසා යැයි ජනප්‍රවාදයේ කියවේ.

අද වුවත් නියඳගල කන්ද තුළ නියඳ ඖෂධීය ශාකය සමග ඖෂධීය ශාක ගණනාවක් දැකගැනීමට හැකිය.

අංකෙන්ද (Acronychia pedunculata), කොබ්බෑ (Allophylus cobbe), අක්කපාන (Kalando Pinata)), ඉර මුසු (Hemidesmus indicus), කප්පර වල්ලිය (Cuban oregano), මුස්සැන්ද (Mussaenda frondosa), සඳුන්, දිවි කදුරු (Tabernaemontana dichotoma), කැකුණ (Canarium zeylanicum), කටුපිල (Flueggea leucopyrus), අහු (Morinda citrifolia), එල ඔලිඳ (Abrus melanospermus) වැනි ඖෂධීය ශාක ද, විශාල ශාක විවිධත්වයක් ද මෙම ප්‍රදේශයේ දක්නට ඇත.

අදටත්, අවට පාරම්පරික වෙදැදුරන් හා බොහෝ දුර ඈත වෙසෙන පාරම්පරික වෙදැදුරන් මෙන්ම ගම්වාසීන් ඖෂධ සොයා පැමිණෙන්නේ මෙම වනාන්තරයටයි.

ස්වභාවික සම්පත්වලට අමතරව ප්‍රදේශවාසීන් තමන්ගේ ආගමික කටයුතු සිදුකරන ආරණ්‍යය පිහිටා ඇත්තේ ද මෙම නියඳගල වනාන්තරය තුළ ය.

සුපුන් ශර්මා, ලිනා පර්හිර් විසින් පංජාබ් විශ්වවිද්‍යාලයේදී දුරකතන හා එහි තරංග මගින් සිදුවිය හැකි බලපෑම සම්බන්ධව සිදුකරන ලද, "Effect of Mobile Phone Radiation on Nodule Formation in the Leguminous Plants" පර්යේෂණයට අනුව ඔවුන් කියා සිටින්නේ දුරකතන සංඥා තරංග මගින් කායික විද්‍යාත්මක හා රසායන විද්‍යාත්මක බලපෑමක් ශාකවලට සිදුවිය හැකි බවයි.

උපුටා දැක්වීම :

"Trigonella foenumgraecum (Fenugreek). It was observed that the radiations emitted from mobile phone show considerable increase in the germination percentage, seedling length, proteins, lipid and Guaiacol content in comparison to control seeds. Different exposure time treatments were taken for the study as ½ hour, 1 hour, 2 hour, 4 hour and 8 hour. The biochemical parameter increases with increase in the radiation exposure. The study concluded that radiations emitted from mobile phone interfere with both morphological and the biochemical processes and affect the growth and nodule formation in the plants"

මේ අනුව වනාන්තර තුළ දුරකතන කුළුණු ඉදිකිරීම එම වනාන්තර තුළ වෙසෙන සත්ත්ව හා ශාක ප්‍රජාවට අහිතකර බලපෑම් ගෙන එන බවට තහවුරු වී ඇත.

එමෙන්ම ඉහත දුරකතන කුළුණ ඉදිකිරීමට උත්සාහ කරන සීමාවේ ජනතාව ජීවත් වන ප්‍රදේශයක් ද ඇත.

එම නිසා ජනතාවටත්, පරිසරයටත් විශාල බලපෑමක් එල්ල කළ හැකි බැවින් මෙම දුරකතන කුළුණ මෙම ප්‍රදේශයේ ඉදිකිරීමට ප්‍රාදේශීය ලේකම්වරිය අවසර ලබානොදිය යුතුයැයි අපි අවධාරණය කරමු.

 රවීන්ද්‍ර කාරියවසම්

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)

IMG 20221102 WA0022