චීන පොහොරේ අලාභය මිලියන 1382 යි : වගකිවයුත්තන්ට වැඩ වරදියි !

චීන පොහොරේ අලාභය මිලියන 1382 යි : වගකිවයුත්තන්ට වැඩ වරදියි !

රසායනාගාර පරීක්ෂණවලදී දෙවතාවක් අසමත්ව තිබූ විනාශකාරී බැක්ටීරියා සහිත නොසැපයූ චීන කාබනික පොහොර නෞකාව සඳහා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382 ක පාඩුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.

එමෙන්ම අදාළ පොහොර සැපයුම්කාර සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනීමටත් මෙරට නීතිරීති ප්‍රකාරව ගිවිසුම්වලට අනුකූලව ක්‍රියානොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරීමටත් නිර්දේශ කර ඇත.

මෙකී පොහොර ගනුදෙනුව නිසා ගණනය කර නොමැතිව ඇති පාඩුව අතිවිශාල බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021/2020 මහ කන්නයේදී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000 ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්න නිසා ආර්ථිකයට වූ පාඩුව, විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර තොගයක් රටට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් අපේක්ෂිත වන්දිය ගණනය කර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම මත රජයට අනාගතයේදී යම් වන්දියක්, ගාස්තුවක්, වියදමක් ගෙවීමට සිදුවුවහොත් එම පාඩුව පිළිබඳව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමේදී අදාළ සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දිර්ඝ කර ගැනීමට කටයුතුකර නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී පොහොර සැපයුම්කාර සමාගම සමඟ ඇතිකරගෙන තිබූ සමථ කොන්දේසි ප්‍රකාරව ණයවර ලිපියේ හා කාර්යසාධන බැඳුම්කරයේ කාලය දිර්ඝකර එය වලංගුව තබාගත යුතුව තිබුණි. එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස 12 වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනි දින කාර්යසාධන බැඳුම්කරය කල් ඉකුත්වී තිබුණි. එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සිය වගකිම් පැහැර හැර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පොහොරවල ප්‍රමිතිය තීරණය කිරීම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුවී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ආදාළ පොහොර සැපයුම්කරු පොහොර අයදුම්පත්‍රයට දින මුද්‍රා තබා නොතිබුණි. අයදුම්පත් විවෘත කිරීම හා ලේඛනගත කිරීම ප්‍රසම්පාදන විධිවිධාන ප්‍රකාරව විනිවිද භාවයකින් යුක්තව සිදුවී නොමැතිව බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජිවානුහරණය නොකරන ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට නීතිරීති ගළපා ගැනීම සඳහා සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 සැප්තැම්බර් මස 17 දින ණයවර ලිපි විවෘත කරගෙන තිබුණි.

අදාළ පොහොර සැපයුම්කාර සමාගම විසින් චිනයේ කින්ඩාඕ වරායේ සිට කොළඹ වරයාට පොහොර මෙටි්‍රක්ටොන් 20550 ක් එවා තිබුණි. එහෙත් අදාළ සැපයුම්කාර සමාගමට ශාක නිරෝධායන පනතට අනුව ජීවානුහරණය නොකළ කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබැමට නොහැකිවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

ඇතිවූ මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙන නෞකාවේ අන්තර්ගත පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75 ක් සඳහා නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් මිලියන 1382 ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි. සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දෙසියක් අදාළ සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාගෙන නොතිබුණි. මෙම සමාගම විසින් ප්‍රමිතිගත පොහොර ලබානොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල අයකරගැනිමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා පොහොර සඳහා ගෙවූ මුළු මුදලම රජයට සිදුවූ පාඩුවක් බවට පත්ව ඇති බවද විගණන කාර්යාලය පවසයි.

කෙසේ වුවද අදාළ සැපයුම්කාර සමාගමෙන් ගත් පොහොර සාම්පල් දෙවතාවක් පරික්ෂා කොට තිබුණි. එම අවස්ථා දෙකේදීම පොහොර ජිවානුහරණය කර නොමැති බවත් අර්විනියා සහ බැසිලස් යන අහිතකර බැක්ටීරියා ඇතුළත් බවත් ජාතික ශාක නිරෝධායන සේවය නිර්දේශ කොට තිබුණි. එපමණක් නොව පොහොර ගෙන්වීම සඳහා සැපයුම්කරු හා රජයේ පොහොර සමාගම් අතර ණයවර ලිපි නිකුත්කිරීම අත්හිටුවා තිබුණි. එහෙත් මෙකී ප්‍රශ්නගත පොහොර තොගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත්කරනු ලැබූ විශේෂ කමිටුව විසින් සිදුකළ ශාක සත්ත්ව හා මානව සෞඛ්‍යයට අහිතකර බැක්ටීරියා අඩංගු නොවන එහෙත් හිතකර බැක්ටීරියා අඩංගු විය හැකි පොහොර ජීවානුහරණය කළ පොහොර යන නිර්වචනය පදනම් කොටගෙන මෙම පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබුණි. මෙම නිර්දේශය මෙම මතභේදාත්මක ගනුදෙනුවට එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000 ක්, මෙටි්‍රක්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට චීනයේ සිමාසහිත කින්ඩාඕ සිවින් බයෝටෙක් සමූහ සමාගමෙන් ආනයනය කිරිමට සැලසුම් ක්‍රියාත්මක කොට තිබුණි.

-Lanka lead

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න