Language Switcher

V2025

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් : කර්මාන්තයත් හිස ඔසවයි !

මෙම මාසයේ මුල් සති දෙක තුළ සංචාරක පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ අගෝස්තු පළමු සති දෙක තුළ සංචාරකයන් 17,000ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවය.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කරන ආකාරයට මේ වනවිට දෛනිකව සංචාරකයන් 1,600ට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණෙමින් සිටින බවය.

ඒ අනුව දිගු කළකට පසුව සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් ඇති බව ඇය සඳහන් කරයි.

ඉකුත් මැයි මාසයේදී දෛනික සංචාරකයන්ගේ පැමිණීම 650ක් දක්වා ඉතාම අවම අගයක පැවති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත .

කොරෝනා වසංගතයට පෙර සංචාරක කර්මාන්ත හරහා මෙරටට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 4ක පමණ ආදායමක් හිමිවිය.

කොරෝනා වසංගතය පැමිණි පසු සංචාරක කර්මාන්තයෙන් එතෙක් ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම අහිමි විය. ඒ අනුව 2020, 2021 හා 2022 යන අවුරුදු තුනේදී සංචාරක කර්මාන්තයෙන් ලැබිය යුතු ඩොලර් බිලියන 12ක් පමණ රටට අහිමි වී තිබේ.

ඒ අනුව යළිත් මේ තරමින් හෝ සංචාරක කර්මාන්ත හිස එසවීම වැදගත් ය. එයින් විදෙස් විනිමය අර්බුදය සමනය කරගන්නට සුවිශේෂ දායකත්වයක් ලැබෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් සහ විදුලිය , ඉන්ධන , ආහාර ප්‍රමාණවත් ලෙස ඇත්තේ නම් සංචාරක කර්මාන්තය යළි හිස එසවීම දුෂ්කර නොවන බවය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය බලය ලබාගෙන මාසයක් පමණ කාලයක් ගතවෙන අවස්ථාවේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිට ක්‍රමයෙන් එයින් මිදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට මේ හේතු වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම වැඩි වූ විදුලි ගාස්තු වලින් පවා සංචාරක කර්මාන්තයට සුවිශේෂ සහනයක් සපයා ඇති බවත්, ආර්ථිකයේ සෑම ක්ශේත්‍රයක්ම වසර දෙකක් තුළ කඩා වැටී නැත්තටම නැතිවී ඇති අති දුෂ්කර පසුබිමක මේ ආකාරයට ආර්ථිකයේ මර්මස්ථාන ක්‍රමික ලෙස වර්ධනය කරවමින් මෙහෙයවීම අතිශය වැදගත් බවත් ඔවුන් පවසයි .

S.L.ශ්‍යාම්