Language Switcher

V2025

PB යයි - ගාමිණී එයි !

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයේ ගාමිණී සේදර සෙනරත් අද (19) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

ගාමිණී සෙනරත් මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්ධුරය දරනු ලැබුවේය.

ඔහුගෙන් පුරප්පාඩුවන අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත්කිරීමට නියමිත අතර ඔහු හෙට (ජනවාරි 20) දිනයේ නව ධුරයේ වැඩ භාර ගනු ඇත.

ගාමිණී සේදර සෙනරත් කියන්නේ කවුද?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිධුරය දැරූ සමයේ ඔහුගේ කාර්යයාලයේ සිට ආර්ථික උපායමාර්ගික කරුණු සියල්ල පාලනය කළේ ගාමිණී සේදර සෙනරත් ය.

ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්යයමණ්ඩල ප්‍රධානියා මෙන්ම මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ලිට්‍රෝ ගෑස් යන ආයතනවල සභාපතිවරයා ද විය.

එම කාලසීමාව තුළ රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම පාහේ ඔහුගේ පාලනයට නතුව තිබුණි.

2015 ආණ්ඩු පෙරළියත් සමග ඔහුට චෝදනා රැසක් එල්ලවූ අතර බොහෝ සිවිල් සංවිධාන සහ දූෂණ විරෝධී ක්‍රියාකාරීහු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට පැමිණිලි කළහ.

ඔහුට එල්ල වූ චෝදනා මොනවා ද?

ගාමිණී සෙනරත්ට එරෙහිව එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූයේ රාජ්‍ය මුදල් අවභාවිතය යි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඔහු ඇතුළු දෙදෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත්, පසුව විශේෂ මහාධිකරණය විසින් ගාමිණී සෙනරත් නිදොස්කොට නිදහස් කරන ලදී.

යළි අගමැති ලේකම් ධුරයට පත්වෙයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ගාමිණි සේදර සෙනරත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 21 ජනපති ධූරයට පත්වීමෙන් පසු පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කෙරිණි. 2020 අගෝස්තු පැවති මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු ඔහු නැවතත් අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට පත්විය.

ගාමිණී සෙනරත් 1984 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

  • 1984 - 1985 කාලය තුළ පදවි ශ්‍රී පුර සහකාර ප්‍රාදේශීය ලේකම්
  • 1985 - 2002 ආගමන විගමන දෙපර්තමේන්තුවේ සහකාර පාලක, ජ්‍යෙෂ්ඨ සහකාර පාලක, නියෝජ්‍ය පාලක
  • 2002 - 2003 ප්‍රවාහන , මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සිවිල් ගුවන් සේවා)
  • 2004 - 2005 අග්‍රමාත්‍ය අතිරේක ලේකම්
  • 2005 - 2015 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති අතිරේක ලේකම්
    මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ඔහු ජනාධිපති කාර්යයමණ්ඩල ප්‍රධානී ධුරයට අමතරව, රාජ්‍ය ව්‍යවසායන් රැසක සභාපතීත්තවය දැරුවේය.
  • සීමාසහිත ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති
  • සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්) සමාගමේ සභාපති
  • සීමාසහිත කැන්විල් හෝල්ඩිංස් (පෞද්) සමාගම් සමූහයේ සභාපති
  • මහජන බැංකුව
  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති
  • හෙලංකා හොටෙල් සහ ස්පා සමාගම
  • සිනොලන්කා හොටෙල් සහ ස්පා සමාගම
  • කැනොවින් හොටෙල් සහ ස්පා සමාගම

ඉල්ලා අස්වූ පී.බී.

ජනාධිපති ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වූ වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පුංචි බණ්ඩා ජයසුන්දර(පී. බී. ජයසුන්දර) මහ බැංකුකරුවෙකු සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය සේවකයෙකු ලෙස වසර 40කට අධික කාලයක් විවිධ අත්දැකීම් ලබා ඇති අයෙකි.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ප්‍රතිපත්ති සංවර්ධන සහ සැලසුම්, සංවර්ධන සහාය සහ ව්‍යාපෘති මූල්‍ය සාකච්ඡා යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින්, 1999-2014 කාලය තුළ ඔහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කළේ ය.

ආචාර්ය ජයසුන්දර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස (1997-2002) ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, වැවිලි, ඛනිජ තෙල් සහ ගෑස්, රක්ෂණ සහ නිෂ්පාදන ව්‍යවසායන් කිහිපයක්ම පුද්ගලීකරණය කිරීමට නායකත්වය දුන්නේ ය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකු වන පී. බී. ජයසුන්දර 1973 දී ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා, 1980 දී විලියම්ස් විද්‍යාලයයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, 1984 දී බොස්ටන් විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තේ ය.

ඔහු 1974 දී ශ්‍රී ලංකා මහ බැංකුවට ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සම්බන්ධ වූ අතර, පසුව එක්සත් ජනපදයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමෙන් පසු 1980 දශකයේ දී ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස උසස් කරන ලදී.

ආර්ථික ඝාතකයෙක්...?

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම රටේ ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට මුල්වූ ආචාර්ය පී. බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය විටින් විට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය දැරූ කාලසීමාව තුළ අමාත්‍ය විමල් වීරවංශ වරක් පී. බී. ජයසුන්දර හඳුන්වාදෙනු ලැබූයේ "ආර්ථික ඝාතකයෙකු" ලෙස ය.

මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් වීරවංශ විසින් එවකට පී. බී. ජයසුන්දරට එරෙහිව ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කරනු ලැබීය.

ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් නඩුව: රාජ්‍ය ආයතනයක තනතුරක් දැරීමට නුසුදුස්සෙකු වෙයි.

ලාභ ලබන, ණය බරින් තොර වූ, බදුගෙවන සමාගමක් වූ, සම්පූර්ණයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ සමාගමක් වන ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් (LMSL)හි කොටස් 2002 වසරේදී ජොන් කීල්ස් හෝල්ඩින් සමාගමට විකිණිමේ ක්‍රියාව, අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව විනිවිද භාවයකින් තොරව, ජෝන් කීල්ස් සමාගමට පක්ෂපාතීව සිදුකළ බව ආචාර්ය පී.බී ජයසුන්දරට චෝදනා එල්ල විය.

ඒ, වත්මන් අමාත්‍ය වාසුදේව නානායක්කාර එවකට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හෙවත් පර්ක් ආයතනයේ සභාපති වශයෙන් එවකට කටයුතු කරමින් සිටියේ පී.බී ජයසුන්දරයි.

නඩුවේ 08 වැනි විත්තිකාර පී.බී ජයසුන්දර අදාළ ගනුදෙනුවේදී මහජන යහපතට පටහැනිව ක්‍රියාකරමින් නීතිවිරෝධීව ජෝන් කීල්ස් හොල්ඩින් සමාගමට වාසි ලබා දීම සඳහා දුස්සන්ධාන ගතවූ බවට තහවුරු වීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 5ක වන්ධියක් ගෙවීමටද අධිකරණය ඔහුට නියෝග කළේය.

2008 ජූලි මාසයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් ලබා දුන් ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් තීන්දුවේ දී, ආචාර්ය ජයසුන්දර ඔහුගේ අධිකාරියට ඉහළින් ක්‍රියා කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවත්, රාජ්‍ය නිලතල දැරීමෙන් නුසුදුස්සෙකු වූ බවටත් නිගමනය කරන ලදි.

අනතුරුව පී.බී ජයසුන්දර භාණ්ඩාගාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු අධිකරණයෙන් සමාව ද ඉල්ලා 2008 ඔක්තෝම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයකින් දක්වා තිබුනේ ඉදිරියේදී රාජ්‍ය අයතනයක තනතුරක් නොදරන බවටයි.

ඉන් වසරකට ආසන්නව තිබියදී යළි භාණ්ඩාගාර ලේකම් ධුරයේ කටයුතු කිරීමට තමාට අවසර දෙන ලෙස ආචාර්ය ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ආචාර්ය පී.බී ජයසුන්දරට 7 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 6-1 ක තීන්දුවක් මගින් රාජ්‍ය සේවයේ පත්වීමක් භාර නොගැනීමේ තමාගේම පොරොන්දුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දීමෙන් පසු ජයසුන්දර නැවත රාජ්‍ය සේවයට එක්විය.

තමා රාජ්‍ය සේවයේ නොයෙදෙන බවට මීට පෙර ගොනු කර තිබූ දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ආචාර්ය පී.බී ජයසුන්දර ඉල්ලා තිබිණි.

ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සිටි විනිසුරු ශිරාණි තිලකවර්ධන පමණක් ඊට විරුද්ධ විය.

එවකට අගවිනිසුරු අශෝක ද සිල්වා සහ ශිරාණි ඒ බණ්ඩාරනායක, සලීම් මර්සූෆ්, ජගත් බාලපටබැඳි, කේ.ශ්‍රීපවන් සහ පී.ඒ.රත්නායක යන විනිසුරුවරුන් තීන්දුව අනුමත කළහ.

ආණ්ඩු තුනක තනතුරු දැරූ ප්‍රබල පුද්ගලයකු වූ හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා 'ජාතික අභිලාෂය' මත යළි එම තනතුරට පත් කිරීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය බැවින් දිවුරුම් ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් තමාගේ සේවය අවශ්‍ය බැවින් භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු තමා භාර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය බව ඔහු එහිදී අධිකරණයට දන්වා සිටින ලදි.

BBC