මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය සමගියේ වැදගත්කම කියාදීමේ නව වැඩපිළිවෙලක් අරඹයි

මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය සමගියේ වැදගත්කම කියාදීමේ නව වැඩපිළිවෙලක් අරඹයි

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අඩිතාලම දමා ඇති වත්මන් යුගයට ශක්තියක් වෙමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය නැගෙනහිර මඩකලපුව පාසල් දූ දරුවන්ට ජාතීන් අතර සමගියේ වැදගත්කම කියාදීමේ නව වැඩපිළිවෙලක් අරඹයි.

එහි සමාරම්භය මඩකලපුව අමිර්තහලී ශ්‍රී සිත්ති විනයාගමුර් මහා විද්‍යාලයේ (BT/Amirthakaly Sri Sithy Vinayagar M.V) පැවැත්වුණි.

ජාති ආගම් හා භාෂා භේදවලින් තොර එකම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීමට අඩිතාලම දමා තිබෙන යුගයක ඊට ශක්තියක් වෙමින් නැගෙනහිරත් මධ්‍යම පළාතත් යා කරමින් පාසල් දූ දරුවන්ගේ කලා, සංස්කෘතික සහ භාෂා හැකියාවන් මෙන්ම නායකත්ව ගති ලක්ෂණ වැඩි දියුණු කිරීමේ අරමුණින් මඩකලපුව සහ මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය නව වැඩපිළිවෙලක් ඉකුත්දා ක්‍රියාත්මක කළේය.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව අමිර්තහලී ශ්‍රී සිත්ති විනයාගමුර් මහා විද්‍යාලයේ (BT/Amirthakaly Sri Sithy Vinayagar M.V) ශිෂ්‍ය නායක නායිකාවන් හට නායකත්ව ගති ලක්ෂණ වැඩි දියුණු කිරීමට ඔවදන් ලබාදීමක් සහ ඔවුන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් එළි දැක්වීමේ වැඩසටහනක් ලෙස මෙය පැවැත්විණි.

වසර තිහකට හෝ ඊට වැඩි කාලයක් ගුරුවරුන්, ගුරු උපදේශකයින්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලකයින් ලෙස සේවය කොට මහත්වූ අත්දැකීම් සහ පලපුරුදු සම්භාරයකින් හෙබි අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානයේ ලේකම් විශ්‍රාමික විදුහල්පතිනි ජී.ගමආරච්චි මහත්මිය ප්‍රධාන මධ්‍යම පළාතේ අධ්‍යපනවේදීන් විසින් මඩකලපුව අමිර්තහලී ශ්‍රී සිත්ති විනයාගමුර් මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීමේ අගය සහ ජාති ආගම් භේද වලින් තොරව ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ගොඩනැගීමේ වටිනාකම මෙහිදී අවබෝධ කර දුන්හ.

නැගෙනහිරත් මධ්‍යම පළාතත් අතර පාසල් දරු දැරියන් අතර අනෝන්‍ය අවබෝධය සහ සමගිය සහ සහජීවනය ඇති කරලීමට ප්‍රධාන බාධාවක්ව පවතිනුයේ එකිනෙකා කතා කරන භාෂාවන් පිළිබඳ නොදැනුවත් බවයි. එම දුරස්ථ භාවය අවම කිරීමට නැගෙනහිරට සිංහල භාෂාවත් මධ්‍යම පළාතට දෙමළ භාෂාවත් ඉගැන්වීම අනිවාර්යයෙන්ම වැඩි අවධානයක් යොමු කර කළ යුතු කටයුත්තක් බව වැඩසටහනට එක්වූ ජී. ගමආරච්චි ප්‍රකාශ කළාය.

එසේම අපේ රටේ පවතින ආගමික, සංස්කෘතික, කලා උත්සව පිළිබඳව තොරතුරු සහ ඒවායේ අත්දැකීම් සිංහල දෙමළ භාෂා දෙකෙන්ම ලබා ගැනීමට දරුවන්ට අවස්ථා උදා කළ යුතු බවද ඇය කීවාය.

භාෂා දැනුම අවබෝධය අවම වීම ජාතීන් අතර දුරස්ථ භාවය ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇත. එය දුරු කිරීමට මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කළ යුතුවේ. අපි මඩකලපුවේ ඔබට මධ්‍යම පළාතේ පාසල් දු දරුවන් සමග එක්ව අත්දැකීම් බෙදා හදා ගන්නට වැඩපිළිවෙළක් සකස් කරනවා. ඉතා ඉක්මනින් ඒ සඳහා ඔබ සියලු දෙනාට සහභාගී වන්නට අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා එක්ව තමන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් අපේ දරුවන්ට පෙන්වන්නට මධ්‍යම පළාතට පැමිණෙන්නැයි ඔබට ආරාධනා කරනවා.

මඩකලපුව අමිර්තහලී ශ්‍රී සිත්ති විනයාගමුර් මහා විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී රාමචන්ද්‍රසාමි ප්‍රභානන්දන් ..

අප පළාතේ දරු දැරියන්ට දකුණේ සමාජයේ සිදුවන දේ පිළිබඳව හරියාකාර අවබෝධයක් නැහැ. දකුණේ විවිධ ජාතික උත්සව තිබෙනවා. ඒ වගේම නැගෙනහිරත් විවිධ ආගමික සංස්කෘතික උත්සව තිබෙනවා. මේවා පිළිබඳව දැනුම සහ අත්දැකීම් අප නැගෙනහිර, මධ්‍යම කියා භේදයකින් තොරව දරුවන්ට කියා දිය යුතුයි. එය ශක්තිමත් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට මහත් පිටුවහලක් වෙනවා. අප විද්‍යාලයේ විදුහල්පති වී.මුරුගදාස් උපදෙස් හා මඟපෙන්වීම් මේ වැඩසටහනට ලැබුණා.

මෙම අවස්ථාවේදී විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන් විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කළ අතර අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානයේ සාමාජික සාමාජිකාවන් නායක්ව ගති ලක්ෂණ වැඩි දියුණු කරගන්නා ආකාරය, ජාතියේ සමගිය ගොඩනැගීමේ වැඩදගත්කම පැහැදිලි කළහ.

වැඩසටහනට එක්වූ සියලු දෙනාටම වටිනා සහතික පත්‍රයක් සහ ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුවිය.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න