අධ්‍යාපන අයිතිය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර සහය !

අධ්‍යාපන අයිතිය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර සහය !
උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට එරෙහිව සටන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ සහ  අඩන්තේට්ටමට ලක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අයිතිවාසිකම් උද්ඝෝෂකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගිතාවය නැග එමින් පවතී.
 
සිය විරෝධතා ක්‍රියාවන් හේතුවෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා ලද රටෙහි විශාලතම උපාධි අපේක්ෂක සංගමයේ තිදෙනකු ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරීන් පස් දෙනකු මාස දෙකකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිටී. දේශපාලන ක්‍රියාකාරිනී කෝෂිලා හංසමාලි පෙරේරා රැඳවුම් භාරයේ සිටියදී කොවිඩ් 19 ආසාදනයට ලක්ව ඇත.
 
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන් වන වසන්ත මුදලිගේ, අමිල සංදීප සහ හේෂාන් හර්ෂණ මෙන්ම චමීර කොස්වත්ත ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

243936193 1053045105235728 3070318652681951930 n

 

ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගත් සියළුම වෘත්තීය සමිති නියෝජිතයන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව දියත් කරන මර්දනය නවතා ඔවුන් වහාම නිදහස් කරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිති සංවිධාන ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ වරප්‍රසාදය සලසා දෙන GSP+සහනය ලබා දීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා පැමිණි ඉහළ පෙළේ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් මෙරට සිටින අතරතුරය. ජීඑස්පී+ සහනය ලෙස හඳුන්වන මෙම පහසුකම, මානව හා කම්කරු අයිතිවාසිකම්, යහපාලනය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බවට වන කොන්දේසි මත රඳා පවතී.

නවසීලන්තයේ සියලුම ප්‍රධාන අධ්‍යාපන වෘත්තීය සමිති එක්ව "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පාන සිසුන්ට, ගුරුවරුන්ට සහ වෘත්තීය සමිති ක්‍රියාකරුවන්ට එරෙහි මර්දනය අවසන් කරන ලෙස" ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.

නවසීලන්තයේ තෘතීයික අධ්‍යාපන සංගමය (TEU), පශ්චාත් ප්‍රාථමික ගුරු සංගමය, තේ රියු රෝ අධ්‍යාපන ආයතනය සහ ස්වාධීන පාසල් අධ්‍යාපන සංගමය (ISEA) විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රමුඛ ක්‍රියාධාරීන් වන කථිකාචාර්ය අමින්ද ලක්මාල් සහ කථිකාචාර්ය මහීම් මෙන්ඩිස්ට එරෙහි තර්ජන පිළිබඳවද සඳහන් කොට තිබේ.

"අත් අඩංගුවට ගත් ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, චෝදනා ඉවත් කරන ලෙසත්, උසස් අධ්‍යාපන මිලිටරීකරණය ට (KNDU පනත් කෙටුම්පත ට) විරෝධය දක්වන වෘත්තීය සමිති, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනය අවසන් කරන ලෙසත්, වසර 24 ක් පුරා නොවිසඳුන වැටුප් විෂමතාවන්ට විසඳුමක් ඉල්ලන වෘත්තීය සමිති දඩයම් කිරීම වහාම නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු,” යැයි ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති, සමාජවාදීන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිවේදනයක් නිකුත් කොට ඇත .

ඕස්ට්‍රේලියා - ආසියා සේවක සම්බන්ධතාවය (AAWL), කම්කරු සහයෝගිතාව, ASF - ජාත්‍යන්තර සේවක සංගමය, සමාජවාදී සන්ධානය, වික්ටෝරියාවේ සමාජවාදීන්, යාරා නාගරික මන්ත්‍රී ස්ටීවන් ජොලි, මොර්ලන්ඩ් නගර සභිකා සූ බෝල්ටන් සහ මාරිබිර්නොංහි නගර සභික ජෝර්ජ් ජෝර්කෙරා මෙම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

2021 සැප්තැම්බර් 22 දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී ප්‍රශ්න කරන ලද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති වෘත්තීය සමිති සභාපති මොහාන් වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගම් සාමාජික සිරිනි ද සිල්වා යන අය පිළිබඳව ද නවසීලන්ත වෘත්තීය සමිති විසින් කරුණු දක්වා ඇත.

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව සටන් වැදීම නිසා පසුගිය ජූලි මාසයේදී ගුවන් හමුදා කඳවුරක රඳවා සිටි ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ තවත් වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනකුට සහයෝගය පල කරමින් මතුවුණු ජාත්‍යන්තර විරෝධය හේතුවෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාවේ රජයට සිදුවිය.

කෙසේ වෙතත්, වැඩ වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන්ට එරෙහිව 'දැඩි පියවර ගන්නා' බව ට මහජන ආරක්‍ෂක ඇමතිවරයා නිතරම තර්ජනය කරමින් සිටි බැවින් වෘත්තීය සමිති ක්‍රියාකරුවන් හා අධ්‍යාපනයේ අයිතිය සඳහා සටන් වදින ක්‍රියාකාරීන් අතර භීතියක් ඇති වී තිබේ.

(The leader .lk)

 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න