ජනාධිපති මහනුවරට : ආගමික නායකයින්ගේ සහය ඉල්ලයි

ජනාධිපති මහනුවරට :  ආගමික නායකයින්ගේ සහය ඉල්ලයි

 

ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලින් ගෙනයන වැඩපිළිවෙළට අමතරව තම තමන්ගේ කොට්ඨාසවල ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින්,ඔවුන් අතර සාමය ස්ථාපිත කිරීමට නායකත්වය ගන්නා ලෙස ද ජනාධිපතිවරයා  ආගමික නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින්  මහනුවර දිස්ති‍්‍රක්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට   7 වනදා මහනුවර ජනාධිපති මන්දිරයේ දී කැඳවනු ලැබූ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.

මතුව ඇති හදිසි තත්ත්වය සහ ජනතාව අතර පවතින අනවබෝධයෙන් දුරලමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ආගමික නායකයින්ට ඉටුකළ හැකි කාර්යභාරය පිළිබඳවද ආගමික නායකයින්ගේ  අවධානය යොමුවිය යුතු බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ මල්වතු, අස්ගිරි උභය පාර්ශ්ව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා  ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මුස්ලිම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගමික නායකයින් ද මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි බවය.

මෙහිදී ආගමික නායකයින් විසින් ඉතා සුළු සිදුවීම් විවිධ මාධ්‍ය ජාල ඔස්සේ අනවශ්‍ය ආකාරයට  ප්‍රචාරය කරමින් සමාජයට වැරදි තොරතුරු ලබාදීම මෙම නොසන්සුන් තත්ත්වයන් වර්ධනය වීමට මූලික හේතුව වී තිබෙන බවට සිය අදහස දක්වා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සත්‍ය සහ නිවැරදි තත්ත්වය පිළිබඳ සෑම අවස්ථාවකම ජනතාව දැනුවත් කිරීම වැදගත් බවත් පවතින සැබෑ තත්ත්වය පිළිබඳ ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට  කටයුතු කිරීම වැදගත් බවය.  ඒ වෙනුවෙන් එම මොහොතේම ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කල බවද වාර්තා වෙයි.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී  කලහකාරී කටයුතුවලට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගනිමින් කිසිදු බේදයකින් තොරව ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය  ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  ආරක්ෂක අංශවලට  උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න