Language Switcher

V2025

කොරෝනා මර්දනයට ලැබුණු අධාර වන අය වැය කෝ : රනිල්ගෙන් ආණ්ඩුවට උත්තර නැති ප්‍රශ්නයක් !

කොරෝනා මර්ධනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද, එම මුදල් වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.
 
කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීම සදහා ප්‍රමුඛ අවධානය ලබාදිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා  අවධාරණය  කළේය.
 
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේ ඊයේ  ( 01) සිරිකොත මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ විශේෂ හමුවකට එක්වෙමිනි.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක  රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.
 
අද මේ රටේ තිබෙන විශාලම ප්‍රශ්නයක් වන්නේ දේශපාලනයේ සිටින දේශපාලනඥයින් ගැන ජනතාව තුළ විශ්වාසයක් නොමැති වීමයි. දේශපාලනයේ නියැලි සිටින එක්කෙනක්වත් විශ්වාස කරන්න පුලුවන්ද කියා ජනතාව ප්‍රශ්න කරනවා. ජනතාව මුහුණ පා සිටින ආර්ථික ප්‍රශ්න, ඔවුන්ගේ අනාගතය, සෞඛ්‍ය වැනි ප්‍රශ්න වලට විසඳුම් තිබෙන්නේ කා තුළද කියා ජනතාව විමසා සිටිනවා. ජනතාවට මුහුණ පෑමට සිදුව තිබෙන මේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි.
 
 
වර්තමානයේ අපට මුහුණ පෑමට සිදුව තිබෙන විශාලම ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයයි. මේ සියල්ල ඇතිවුණේ කොරෝනා වෛරසය නිසයි. කොරෝනා වෛරසය නොතිබුණා නම් මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපට මෙන්ම ලෝකයේ අනිකුත් රටවලටද කොරෝනා වෛරසය අද පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය රටවල් වලට පමණක් නොව සෑම පුද්ගලයෙකුටම බලපානවා. 
 
 අප හැම කෙනෙක්ගෙම යුතුකම හා වගකීම වී තිබෙන්නේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල මෙරට පැතිරීම වලක්වා ගැනීමයි. කොරෝනා දෙවැනි රැල්ල පැතිරුණහොත් රටේ ආර්ථිකයට මෙන්ම සමාජ වැඩකටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වෙනවා. නැවත රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.
 
අද එංගලන්තයේ ආර්ථිකයට මෙය දැඩි ලෙස බලපා තිබෙනවා. එංගලන්තයට ගොඩ එන්න බැරිනම් අපි කොහොමද ගොඩ එන්නේ. අපේ ප්‍රධානතම කාර්යය විය යුත්තේ කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීමයි. එය කොහොමද කරන්නේ ? පළමු වටයේදී කොරෝනා පැමිණි අවස්ථාවේදී ජනාධිපතිතුමා එය මැඩපැවැත්වීම සඳහා නියෝග ලබාදෙමින් පියවර රැසක් ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපත් මේ සඳහා විවිධ ක්‍රමවේදයන් යෝජනා කළා. ඒ නිසා මේ වැඩපිළිවෙල සාර්ථක වුණා.
 
* මේ වැඩපිළිවෙලේදී අප යෝජනා කළ ක්‍රමවේදයන්ද අනුගමනය කළ නිසා අපි ඊට විරුද්ධ උනේ නැහැ. අපිත් ජනතාවට ප්‍රකාශ කර සිටියේ රජය ලබාදෙන නියෝග අනුව ක්‍රියා කරන ලෙසයි. අප ගත් ඒ පියවර නිසා මේ රටේ ජනතාවට ඉන් විශාල සෙතක් සැලසුණා. අප ඒ කටයුතු එලෙස සිදු කරන විට ඇතැම් පාර්ශව ප්‍රකාශ කර සිටියේ මම ආණ්ඩුව සමග ඩීල් දැම්මා කියායි. මේ අයගෙන් මා විමසා සිටින්නේ තමුන්ට විකල්ප විසඳුමක් තිබුණා නම් ඉදිරිපත් නොකලේ මන්ද කියායි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය වෙනුවෙන් අප පෙනී සිටියේ ඉතා සත් භාවයෙන් බව සිහිපත් කළ යුතුයි. ඔබේ සෞඛ්‍ය ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමින් ඒ පිළිබඳව අපේ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ඩීල් දැමීමක් නොවේ. මා ඒ ඩීල් එක දැම්මේ මේ රටේ ජනතාව සමගයි.
 
නමුත් දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන අපට ප්‍රශ්න තිබෙනවා. පළමු පියවර අපට අනුමත කළ හැකියි. නමුත් පළමු වටයේ අඩු වෙනකොට තහනම ඉවත් කරන්න තිබුණා. ඒ අනුව කොරෝනා පාලනය කිරීම සඳහා අලුත් පනතක් ගෙන ඒමට අවස්ථාව තිබුණා. එහෙත් එය හදිසියේ කළ නොහැකියි. මේ සම්බන්ධව අප මේ ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළා. පරීක්ෂණ වැඩි කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. අප මේ සහයෝගය ලබාදුන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ ඉල්ලීම් කළේ ජනතාව වෙනුවෙන්. 
 
ජනතාව හදිසි සෞඛ්‍ය අවස්ථාවකදී ගත යුතු පියවර නමින් කොරෝනා පාලනය කිරීම සඳහා කෙටුම්පතක් අප සකස් කර තිබෙනවා. මේ එකක්වත් නීත්‍යානූකූල නැහැ. නමුත් ආණ්ඩුව මේ යෝජනා සම්මත කරගන්න අපෙන් ඉල්ලුවේ නැහැ. 
 
කොරෝනා දෙවැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙනවා. එය ඇමෙරිකාවේ තිබෙනවා. චීනය කිව්වා වූහාන් වලින් පස්සේ කොරොනා නැහැ කියලා. නමුත් දැන් බීජිං වලටත් එය ව්‍යාප්ත වී තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපට කොරොනා ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ වනවිට එරට කොරෝනා වලින් මියගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවද පළමු වටයේ පාලනය කර ගැනීමට හැකිවුණා. දැන් දිල්ලිි අග නුවර, චෙන්නායි, මුම්බායි යන ප්‍රදේශ වලද ඉතා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරී ගොස් තිබෙනවා. මේ වන විට යුරෝපයේ ඇතැම් ප්‍රදේශ වල නැවත කොරෝනා දෙවැනි රැල්ල මතුව තිබෙනවා. එංගලන්තයේ ලෙස්ටර් නගරය වසා දැමීමට සිදුව තිබෙනවා. මේ වෛරසය කුමක්ද කියා අප දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කොට තිබෙන්නේ කොරෝනා දෙවැනි රැල්ල නැවත මතුවන බවයි. 
 
මේ අවධානම නිසා පරීක්ෂණ තවත් වැඩිකළ යුතුයි. ඒ අනුව testing and treasing සිදුකළ යුතුයි. මේ සඳහා මුදල් නැහැ කියමින් කල් මරන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයෙන් පසු මා එදා මෙරටට ඩොලර් මිලියන 230 ක් ලැබුණු බව ප්‍රකාශ කළා. නමුත් සෞඛ්‍ය ඇමතිතුමිය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 ක් ලැබුණු බවයි. සැබවින්ම මුදල් තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොවේ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මුදල් කපා හැරීමෙන් පසු ඒ මුදල් ලෝක බැංකුවෙන් හා යුරෝපා සංගමයෙන් මෙන්ම තවත් රටවල් කිහිපයකින් ලැබුණු බව කිව යුතුයි. ඒ අනුව ඒ මුදල් අපටද ලැබුණා. මේ පිළිබඳව නිවැරදි ලැයිස්තුව මා ඉදිරිපත් කළා. ඒ අනුව දැනට අප සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200 ක්. එය වැරදි නම් නිවැරදි ගණන කොපමණද කියා වහා ප්‍රකාශ කළ යුතුයි. එය ඩොලර් මිලියන 200 ක්ද 250 ක්ද එහෙමත් නැතිනම් වෙනත් ගණනක්ද කියා හෙළි කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
 
එපමණක් නොවේ ඊට පසු විවිධ භාණ්ඩ ලබා ගැනීමට මුදල් ලැබුණා. ඒ මුදල් වලට සිදුවූයේ කුමක්ද? මේ භාණ්ඩ මිලදී නොගත්තේ ඇයි? පරීක්ෂණ සිදුනොකරන්නේ ඇයි? සෞඛ්‍ය සේවා වල නියැලි ඉන්න අයට ඒවගේම ආරක්ෂක අංශයේ අයට ආරක්ෂාව සඳහා උවමනා ඇඳුම් කට්ටල නොදුන්නේ ඇයි?
 
නාවික හමුදාවේ භටයින්ට කොරෝනා වෛරසය ඇතුල් වුණා. දැන් ප්‍රකාශ කරන්නේ මේ රටට කොරෝනා ඇතිවුණේ වැලිසර නාවික හමුදා කදවුරෙන් කියායි. මේ හමුදාවේ අයට කොරෝනා තිබුණත් ඒ වෙනුවෙන් ඔවුන්ට අප දොස් කියන්න යන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන ආරක්ෂාව නිසි ලෙස ලබාදුන්නේ නම් එවැනි තත්ත්වයකට ඔවුන් පත් වන්නේ නැහැ.
 
කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ දීම සඳහා දැන්වත් අප සුදානම් විය යුතුයි. නමුත් අවාසනාවකට මෙන් ඒ දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා අදාළ පියවර ගැනීමට මේ ආණ්ඩුවට තවමත් නොහැකි වී තිබෙනවා. මේ නිසා මෙයට මුහුණ දීමට වැඩපිළිවලක් සැලැස්මක් නැති මේ ආණ්ඩුව වහා ඉවත් කොට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අගෝස්තු මාසයේ අප පිහිටුවා ගත යුතුයි.
 
රටේ මේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා. එදා ත්‍රී විල් රථයකින් තම ගමන් පහසුව සලසා ගත් අය අද අතේ මුදල් නැති නිසා ත්‍රී විල් රථයකට ගොඩ වන්නේ නැහැ. මේ නිසා ත්‍රී විල් රථ රියදුරන්ගේ ආදායම කඩා වැටී තිබෙනවා. ඒ වගේම සිල්ලර වෙළද සැල් හිමියන්ට ඒවා පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. එමෙන්ම රටේ අනෙකුත් ව්‍යාපාර කඩා වැටීමකට ලක්ව තිබෙනවා. මේ තත්ත්වයෙන් අප ගොඩ ආ යුතුයි. ලැබුණු මුදල් වලට සිදුවූයේ කුමක්ද කියා මා නැවතත් ප්‍රශ්න කර සිටිනවා.

IMG 20200702 WA0000

IMG 20200702 WA0004

IMG 20200702 WA0005