ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධව තමන් හෙට දිනයේ (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරණ බව කතානායක කරූ ජයසූරිය සඳහන් කරයි.
කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කල අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙතෙක් ඒ පිළිබඳ තමන්ට කිසිඳු දැනුම්දීමක්ද සිදුකර නොමැති බවය.
කතානායකවරයාගේ මෙම ප්‍රකාශයට හේතු වූයේ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්ය.
එහිදී මන්ත්‍රීවරයා කතානායකවරයා වෙතින් විමසා සිටියේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධව කතානායකවරයා දැනුවත්ද යනුවෙනි.
කැබිනට් මණ්ඩලයත් නීති විරෝධීයි
එසේම මීට පෙර newstube.lk වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ වත්මන් කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් 15ක් සහ රාජ්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන් 15ක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අමු අමුව උල්ලංඝණය කරමින් නීති විරෝධීව රාජ්‍ය දේපළ අවභාවිතා කරන බවත් ඊට මේ ආණ්ඩුවේ සියළුදෙනා වගකිව යුතු බවය.
එසේම ඊට හේතු ලෙස මන්ත්‍රීවරයා පෙන්වාදී සිටියේ2015 අගෝස්තු 20 වනදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක අතර අත්සන් තැබුණු ගිවිසුම මේ වන විට බලරහිත බවත් ඒ අනුව මේ වන විට පැවතිය යුත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව කැබිනට් අමාත්‍යවරුන් 30ක් සහ රාජ්‍ය අමාත්‍ය - නියෝජ්‍ය අමාත්‍යවරුන් 40ක අමාත්‍ය මණ්ඩලයක් බවය.
එසේම 2015 අගෝස්තු 20 වනදා ගිවිසුම 2017 අගෝස්තු 21 වනදායින් අවසන් වූ නමුත් ආණ්ඩුව ඒ අවස්ථාවේ අදාළ ගිවිසුම 2017 දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කල බව දැනුම්දුන් බවත් එහෙත් ඊට අදාළ නිල ගිවිසුම කතානායකවරයාට ලබාදී ඇති බවට කිසිවෙකු දැනුවත් නොමැති බවද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

