කාන්තා නියෝජනය නොසලකා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවක්

කාන්තා නියෝජනය නොසලකා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවක්

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේදී 25% කාන්තා නියෝජනය නොසලකා හැරීමට දේශපාලන පක්‍ෂ නායකයෝ පොදු එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති අතර, එම රැස්වීම සඳහා පක්‍ෂ නායකයින්ට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති , පළාත් සභා අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද, නීතිපතිවරයා හා නීති කෙටුම්පත් සම්පාදකද එක්වූ බවත් පැවසේ.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම නිසා ප්‍රයෝගික ගැටළු නිර්මාණය වී තිබීම මීට හේතුවී ඇතැයිද සඳහන් වේ.

 25% නම් කිරීමේ ප්‍රයෝගික ගැටළු තියෙනවා - මැකෝ

මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත්තේ එක් එක් දේශපාලන පක්ෂවලින් පත්කළ යුතු කාන්තාවන් සංඛ්‍යාව තීරණය කිරීම ගැටළුවක් වී ඇති බවයි.

කිසියම් ලෙසකින් කිසියම් පක්ෂයකට හිමි වී තිබෙන සභික සංඛ්‍යාව හේතුවෙන් සමානුපාතික ක්‍රමය යටතේ කාන්තාවන් පත්කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම්, එවිට ආයතනයේ සභිකයන් අතරින් 25%ක් කාන්තාවන් නම් කිරීම අනෙක් පක්ෂවලට පැවරෙන බව ඔහු පෙන්වා දී තිබේ.

එසේම ඇතැම් අවස්ථාවල කාන්තා නියෝජනය ස්ථාපිත කළ නොහැකි අවස්ථා ද පවතින බවත් කිසියම්ම ක්‍රමයෙන්වත් කාන්තා නියෝජනය 25% සාක්ෂාත් කරගැනීමට නොහැකි පළාත් සභා කාන්තා නියෝජනයෙන් තොරව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ශ‍්‍රී ලංකාවේ පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය ඓතිහාසිකව ගත් කළ ඉතා පහළ මට්ටමක පැවති අතර කිසි විටෙකත් 2% ඉක්මවා නොගියේය. ඒ අනුව විවිධ දේශපාලන පක්ෂවල සහ කාන්තා සංවිධානවල ඉල්ලීම අනුව 2017 වසරේදී පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ වැඩි දුර සංශෝධනයට අනුව, සෑම පළාත් පාලන ආයතනයකම මුළු නියෝජිතයින් සංඛ්‍යාවෙන් 25% ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතු බවට අනිවාර්ය කෙරිණි.

මෙවර පත්වූ මන්ත්‍රීවරියන්

මෙවර මැතිවරණයෙන් කොට්ඨාසවලින් ඉදිරිපත් වූ කාන්තාවෝ 90%ක් තේරීපත් ඇති බව වාර්තා වේ. කොළඹ මහ නගර සභාවට කාන්තාවන් රැසක් පත්වී ඇති අතර රෝසි සේනානායක මහත්මියට කොළඹ ප්‍රථම පුරපතිනිය වීමේ අවස්ථාව හිමි වී තිබේ. එසේම පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින මන්ත්‍රිවරියන් අතරින් ළාබාලම මන්ත්‍රිවරිය වන්නේ අනුරාධපුර මහ නගර සභාවට තේරීපත්ව සිටින සචිනි කාරියවසම්ය. විශ්වවිද්‍යාල වරම් ලැබූ ඇය 19 හැවිරිදි ශිෂ්‍යාවකි. මෙරට ඉතිහාසයේ වාර්තාවක් තබමින් ප්‍රථම ආදිවාසි මන්ත්‍රිවරිය ලෙස දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනි ශිරෝමාලා පත්ව සිටියි.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීමට හේතුව

මීට පෙර රජය මගින් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීමට බලපෑ එක හේතුවක් ලෙස සදහන් කර තිබුණේ කාන්තා නියෝජනය පිළිබඳ ඇතිවූ ගැටලුවයි. එහිදී ඔවුන් පැවසුවේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සඳහා පළාත් පාලන පනත සංශෝධනය කිරීම සහ අඩුපාඩු විමසීමට කාලයක් ගතවන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න