ගංවතුර බැස ගිය පසු නිවසට විදුලිය ලබා දීමට පෙර අනිවාර්යයෙන් මෙය කියවන්න - (පාඨලී චම්පික රණවක)

ගංවතුර බැස ගිය පසු නිවසට විදුලිය ලබා දීමට පෙර අනිවාර්යයෙන් මෙය කියවන්න - (පාඨලී චම්පික රණවක)

උපකරණ වේළී තිබීම යනු ඒවා ආරක්ෂිත බවට සහතිකයක් නොවේ!!!

"ගංවතුරට යටවූ විදුලි උපකරණ දින කිහිපයක් අව්වේ තැබූ විට ඒවා පාවිච්චි කළ හැක." යන්න බොහෝ දෙනා අතර ඇති වැරදි මතයකි. ගංවතුර යනු පිරිසිදු ජලය නොවේ. එහි මඩ සහ විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. ජලය වාෂ්ප වී ගිය ද, විදුලිය ගමන් කළ හැකි සියුම් අපද්‍රව්‍ය (Conductive Residue) පරිපථ මත ඉතිරි වේ. ඇතැම් පරිපථ කොටස් ජලයෙන් පෙඟී හානියට ලක්වේ. මේවා නිසි ලෙස පිරිසිදු නොකර විදුලිය ලබා දුන් විට උපකරණ ක්ෂණිකව පිලිස්සී යාමට (Short Circuit) හෝ භාවිතයට ගෙන දින කිහිපයකට පසු ගිනිගැනීමේ අවධානමක් පවතී.



1.නිවසේ වයරින් පද්ධතිය (ඇසට නොපෙනෙන අවදානම)

ගෙබිම වේළී තිබූ පමණින් මේන් ස්විචය (Main Switch/Trip Switch) ඔන් (On) නොකළ යුතු ය. බිත්ති තුළ ඇති වයර් බට (Conduits) තුළ ජලය තිබිය හැකි ය. විශේෂයෙන්ම ඔබේ නිවසේ ප්ලග් පොයින්ට් (පේනු) ජලයෙන් යට වී තිබුණි නම්, වයර්වල පරිවාරක (Insulation) දුර්වල වී තිබිය හැකි ය.

එහෙයින් අනිවාර්යයෙන් ම සුදුසුකම් ලත්, පළපුරුදු විදුලි කාර්මිකයෙකු ලවා පරීක්ෂාවක් සිදු කර වයරින් පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරගන්න.

 




2.ජලයට හසුවූ විදුලි උපකරණ (ඉවත දමන්න එපා, පරීක්ෂා කරගන්න)

ඔබේ වටිනා විදුලි උපකරණ ඉවත දැමීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ඒවා පිරිසිදු නොකර කෙළින් ම විදුලියට සම්බන්ධ කිරීම අනතුරකට අත වැනීමකි. මෝටර් (වතුර පොම්ප, ෆෑන්, ශීතකරණ): මේවා බොහෝ විට නැවත භාවිතා කළ හැකි ය. නමුත් අනිවාර්යෙන් ම සුදුසුකම් ලත්, පළපුරුදු විදුලි කාර්මිකයෙකු ලවා පිරිසිදු කර, අවශ්‍ය නම් අලුත්වැඩියා කරගත යුතු ය. විශේෂයෙන් ම ඉලෙක්ට්‍රොනික උපකරණ (TV, Computer) ආදිය ගත් කල අදාළ රසායනික ද්‍රව්‍ය (Solvents) යොදා පරිපථ පුවරු (Circuit boards) පිරිසිදු කළ යුතුය.


ආරක්ෂිත ක්‍රියාමාර්ග පහත පරිදි වේ:



*ජලයෙන් යටවූ කිසිදු උපකරණයක් කාර්මිකයෙකු ලවා පරීක්ෂා නොකර ප්ලග් (Plug) කරන්න එපා.

*ජලයෙන් යටවූ නිවසේ විදුලි පද්ධතිය නිසි පරික්ෂාවක් නොකර මේන් ස්විචය ඔන් කරන්න එපා.

*සෑම විටම සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකුගේ සහාය ලබා ගන්න. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතයත්, ආදරණීයන්ගේ ජීවතත්, දේපළත් ආරක්ෂා කරගත හැකි ය.

 


(පාඨලී චම්පික රණවක)

උපුටා ගත්තේ Patali Champika Ranawaka  ගේ face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න