Language Switcher

V2025

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු..!

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන් දකුණු ආසියාවේ පළමු එක.

කොහොම උනත් ගෝඨාගේ 'නික්ම යාම' (exodus) ලෝකය ඉස්සරහා නිකම් අහිකුන්ඨික දෙයක් බවට පත්උණා. අතනින් මෙතෙන්ට... මෙතනින් අතෙන්ට..අර රටේ විසා නැහැ කියනවා. මේ රටේ විසා නැහැ කියනවා. ආපහු එනවා කියනවා. නැහැ කියනවා. ගෝලීය මාධ්‍ය බලන් ඉන්නවා. ගුවන් යානය ලෝකයේ ට්‍රැක් වෙනවා. යන්න රටක් නැතුව අතන ඉන්නවා. මෙතන ඉන්නවා. අන්තීමට අරාබි රටකට යනකම් සම්පුර්ණ ගමනම එකම නාට්‍යයක් උණා.

මම අහන්නේ මීට වඩා හොඳ නික්ම යාමක් මනුස්සයකුට තියෙන්න බැරිද? එහෙම නික්ම යාමක් පරිකල්පනය කරන්න බැරිද? මම කියන්නේ හිට්ලර් පවා තමන්ගේ බංකරය තමන්ගේ අවසන් තැන හැටියට යොදා ගත්ත කියන එක (අවම වශයෙන් හොලිවුට් චිත්‍රපට ශානරයට අනුව). මොනවා උණත් හිට්ලර්ගේ තේරීම ඇතුලේ දේශපාලන සංකේතනයක් තියනවා. අවම වශයෙන් නාසීන්ගේ පැත්තෙන්.

අපි දේශපාලනය කියන අවදානම් කළාපය තෝරා ගන්න කොටම මරණය කියන එක තෝරා ගන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඒක වමේ දේශපාලන සාහිත්‍යය ඇතුලේ ගොඩක් කතා කරලා තියනවා. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය ඇතුලේ.

ඉතිං හිට්ලර් දැනගෙන හිටියා තමන් කරපු කියපු දේවල්. සහ තමන් කරපු අඳුරු ක්‍රියාවල ශේෂ වෙච්ච අවතාර තමන් පස්සේ එනවා කියලත් එයා දැනගෙන හිටියා. ආයේ ලෝක අධිකරණයකට යන්න තරම්, එහෙම ගිහිල්ල මුහුණ දෙන්න තරම්, සාපරාධී ශිෂ්ටාචාර අපරාධ ගොඩක් නෙවෙයි එයාගේ එකවුන්ට් එකේ තිබ්බේ. ලෝක අධිකරණයක් අහන ප්‍රශ්න වලට උත්තර හිට්ලර් ළඟ තියෙන්න නැතුව ඇති. තිබ්බත් ඒවා වැඩක් නැහැ කියල එයාට තේරෙන්න ඇති.

ඒ නිසා හිට්ලර් වගේම එයාගේ සමීප කිහිප දෙනෙකුත් තෝරාගත්තේ සමාජයට උත්තර බඳින තර්කයේ භාෂාව නෙවෙයි මරණය. එතනින් එයාලගේ වැරදුණ ශිෂ්ටාචාර ගමන අවසන් කළා. අවම වශයෙන් එයාලගේ පැත්තෙන් චාටර් උණේ නැහැ. එහෙම සංඥාවක් ඉතුරු කළේ නැහැ.

ගෝඨා කියන්නේ හිට්ලර් කෙනෙක් නොවුණත් එයාගේ දේශපාලන ඇතුලෙත් අඳුරු වලාකුළු ගොඩක් තිබ්බා. එයාගේ සහෝදරයා එක්ක ආරම්භ කරපු දේශපාලන ගමන ඇතුලේ ඒවා සලකුණු වෙලා තිබ්බ. තජුඩීන්, ලසන්ත, ප්‍රදීප්, සිවරාම් විතරක් නෙවෙයි නෙවෙයි උතුරේ දකුණේ තව ගොඩක් අයගේ නොවිසඳුණ ඉරණම් එක්ක ගෝඨාගේ නම ගෑවිලා තිබ්බ. ඒ නිසා තමයි මාලේ ගුවන් තොටුපළේ දී දෙමළෙන් බැනුම් අහන්න වෙන්නේ.

ඒ තමයි අර හරි අවසානයක් තිබ්බ නැති - දුන්නේ නැති මිනිස්සුන්ගේ සාමූහික විලාපය. කේන්තිය.

යන යන තැන පෝස්ටර් උස්සගෙන එයාල එයාලගේ ආදරණීයන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිනවා. ඉතිං ගෝඨාට ඉන්න වෙන්නේ ඒ ප්‍රතිචාර දිහා බලාගෙන. විශේෂයෙන් ඩයස්පෝරා සන්දර්භයක් ඇතුලේ.

කෙනෙකුට කියන්න පුළුවන් මරණය බියගුළු කමක් කියලත්. අර ප්‍රතිචාර දිහා බලාගෙන ඉන්න එක සහ ඉවසගෙන යන එක ධෛර්යයක් කියල කියන්නත් පුළුවන්. ආපහු සේනා සංවිධානය කරලා එන්න පුළුවන් කියලත් කියන්න පුළුවන්.

හැබැයි ගෝඨා එන්නේ 'විරුවා' කියාගෙන (warier). ඉතිං එයා ඉන්න ඕනි සහ යන්න ඕනි බහින ඉර දිහා බලාගෙන මරණය වෙත යන යන නිර්භීත අසරුවෙක් වගේ. හැබැයි එයා ටර්මිනල් අතරින් යන්නේ බැනුම් අහ අහ චාටර් වේවි.

අනික් අතට හැමෝම කියන්නේ 'එලෙව්වා' කියල. සමහරු කියනවා 'පැනල ගියා' කියලත්. විධායක ජනාධිපති කෙනෙක් එළෙව්ව පළමු වතාව කියලත් කියනවා. ඒවා ඔක්කොම නෙගටිව් දේවල්. අර නිර්භීත අසරුවා කියන විරුවා ඉමේජ් (ප්‍රතිරූපයට) එකට ප්‍රතිවිරුද්ධ දේවල්. අහස ප්‍රකම්පනය කරගෙන ආව කියන එකට සම්පුර්ණයෙන් වෙනස් දෙයක් තමයි අපි ඔහුගේ නික්ම යාම ඇතුලේ දැක්කේ. .

'පැනල දිව්ව විරුවා' කියන එක අහගෙන ජීවත් වෙලා වැඩක් නැහැ කියල මට හිතෙනවා.

ඒකයි සමුරායි සම්ප්‍රදායේ කියන්නේ මරණය කියන එක වැළඳගෙන ඉන් පස්සේ ජිවත් වෙන්න පටන් ගන්න කියල. මම හිතන්නේ නැහැ ගෝඨා එහෙම උත්කෘෂ්ට ෆැන්ටසි එකක් නඩත්තු කළා කියල. ඉතිං මේක තමයි අවසානය.

දැන්වත් දේශපාලනයේ අවදානම් අඳුරු කළාපය වෙත යනවා නම් මෙහෙම පැනල යන්න හිතන්න එපා. මරණය තෝරා ගන්න. සමුරායි කෙනෙක් ලෙස නික්ම යන්න.

සියළු දේවල් සලකා බැලුවත් අද දවසේ ගෝඨාගේ ෆොටෝ එකක් පහළ අමුණන්න ඕනි උනත් මම ආස නැහැ ඒක කරන්න. ඒ එයා කිසිම දවසක මගේ වීරයෙක් නොවුණු නිසා. ඒ වෙනුවට මම ජිවන ආශ්වාදයක් ලබාගත් 'හිඩැල්ගෝ' වීර කාව්‍යමය චිත්‍රපටයේ ඉමේජ් එකක් මේ ඓතිහාසික මොහොතේ අමුණනවා. ❤️

[email protected] (2004)

FB IMG 1657955392111

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි