Language Switcher

V2025

Bitcoin අවධානම්ද ?

අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑතදී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) වල ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital tokens) අතථ්‍ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුලින් ජනනය කිරීම (mining) මගින් හෝ, මුලික කාසි නිකුතුව (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙලෙදපොළවල් (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකිය. අතථ්‍ය මුදල් සාමාන්‍යයෙන් අප්‍රකාශිත විද්‍යුත් මුදල් (cryptocurrencies) ලෙස ද හැදින්වේ. බහුල වශයෙන් භාවිතා වන අතථ්‍ය මුදල් අතරට බිට්කොයින් (Bitcoin), එතෙරියම් (Ethereum) සහ ලිට්කෝයින් (Litecoin) ඇතුළත් වේ.

අතථ්‍ය මුදල් වලට ඒවාටම ආවේනික වූ ඒකක, එනම් බිට්කොයින් (bitcoin) සඳහා එම නමින්මද, එතෙරියම් සඳහා ඊතර් (Ether) වැනි ඒකක ඇති නමුත් අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙලෙදපොළවල් වල (VC Exchanges) සාමාන්‍යයෙන් මහ බැංකු විසින් නිකුත් කරනු ලබන මුදල් වල අගයට, එනම් එක්සත් ජනපද ඩොලරය (ඇ.ඩො.), ජපන් යෙන්, යනාදියට හුවමාරු කරනු ලැබේ.

කෙසේ වෙතත්, අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් නොකරන අතර සාමාන්‍යයෙන් ගනුදෙනු වලට පාදක වන්නා වූ වත්කමක් (underlying assets) අතථ්‍ය මුදල් වලට නැති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. එබැවින් ඒවායේ වටිනාකම අන්තර්ජාල වෙළෙඳපොළවල (VC Exchanges) අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා මහජනතාවගේ සමපේක්ෂණයෙන් (Speculation) තීරණය වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැත. එබැවින්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිතා කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන අතර, ප්‍රධාන අවදානම් ලෙස;

(අ) කිසියම් පරිශීලකයෙකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටළු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට/ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීම.

(ආ)අතථ්‍ය මුදල් වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත (Speculation) රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීම.

(ඇ)ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහල  සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහාද අතථ්‍ය මුදල් භාවිතා කරනු ලැබිමට හැකි වීම.

(ඈ)   විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම - අනර්ඝ මුදල්, හුවමාරුවල වත්කම් ලෙස වෙළඳාම් කර ඇති හෙයින්, අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදෑ ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇත.  මන්ද, අතථ්‍ය මුදල් අවසරලත් ආයෝජන කාණ්ඩයක් ලෙස 2017 අංක  12 දරන විදේශ විනිමය පනත අනුව හඳුනාගෙන නොමැත.  ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි ප්‍රකාරව, අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ විදේශ මුදල්වල ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards ) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ( EFTCs) භාවිතා කිරීමට අවසර නැත.

එබැවින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළුව අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (mining) හෝ, මුලික කාසි නිකුතුවට (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල් (Virtual Currency Exchanges) සදහා හෝ බලය පැවරීමක් කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව