#udayagammanpila

  • උතුරේ ත්‍රස්තවාදින් ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා - උදය ගම්මන්පිල

    උතුරේ ත්‍රස්තවාදින් සහ දකුණේ ත්‍රස්තවාදින් අතර තිබෙන්නේ සහෝදරාත්මක බැඳීමක් බැවින් උතුරේ ත්‍රස්තවාදින් ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • ''මේක බරපතල දුෂණයක්'' - ජනපතිට සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගම්මන්පිල අල්ලස් කොමිසමට යයි

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.

    අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.

    ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල,


    "මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ."


    මතු පළ වන්නේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.

    pivithurun 20250929


  • අධිකරණයට අපහාස කිරීම යටතේ ගමන්පිල අත්අඩංගුවට ගත යුතු යි

    කුඩා දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 273ක් මරණයට පත් කරමින් තවත් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් සිදු කළ පාස්කු ඉරුදින ප්‍රහාරය මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකි;

  • ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ක් පහත වැටිලා - උදය ගම්මන්පිල

    ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දමන්නේ දිට්වා සුළි කුණාටව හේතුවෙන් නොව මේ වන විට ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ක් පහත බැස ඇති බැවින් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • ඇමති සංශෝධනයෙන් තවත් මාලිමා ප්‍රතිපත්තියක් පචයක් වෙලා - ගම්මන්පිල

    '' මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා'' යැයි පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.

    ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (10) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමිනි.

    අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට තමන් කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං සිදු වන්නේ යයි ඔහු කියා සිටියේය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...


    කොච්චර ඇනුවත් ජෝකර්ලා

    විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ්
    කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා.  එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.

     මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.


    බිමල් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරලා...


    බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන්  බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ, එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා.  ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා.  මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.

    එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා. රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා.  ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.


    ගලප්පත්තිට සහ නිපුණාරච්චිට මොක ද වුණේ...?



    1994 සිට පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ ජනාධිපති අපේක්ෂක නිහාල් ගලප්පත්ති මන්ත්‍රිතුමාටත් 2004 සිට පාර්ලිමේන්තුවේ ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමාටත් අඩුම ගණනේ නියෝජ්‍ය ඇමතිකමක්වත් දෙන්න මෙවරත් කටයුතු කරලා නෑ.  ජනාධිපතිකමට සුදුසු ගලප්පත්ති මන්ත්‍රිතුමා නියෝජ්‍ය ඇමතිකමකට
    නුසුදුසු වුණේ කොහොමද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.''



     
  • ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවොත් මොකද වෙන්නෙ...? - උදය ගම්මන්පිල පැහැදිලි කරයි (වීඩියෝ)

    ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුව හොත් මුළු ලෝකය ම යළි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට හැකි යැයි උදය ගම්මන්පිල පැවසී ය.

  • උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන ලබන 18 වැනිදා

    ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකයින් දෙදෙනකුට අයත් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ නියෝග කරයි.

  • කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා - උදය ගම්මන්පිල

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.

  • ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.

  • ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු ගම්මන්පිල කියයි

    සිය වත්කම් බැරකම් ප්‍රකාශවට ජනපති අනුර කුමාර දිසානායක  ඇතුම් තොරතුරු ඉදිරිපත් කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල  මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේය.

    "2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතල අමාරුවක වැටිලා. මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්. අපි ලේඛණය සකසලා අලවපු ලියුම් කවරයක සීල් කරලා තමයි භාර දුන්නේ. අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්.

    නමුත් නව පනතින් ඒක වෙනස් වුණා. පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.

     

    ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද?

     කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයට. 2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා. එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ.

    ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාර වල නිරත වුණා. මේවාට වියදම් කලේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි.

    ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ. එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි. නමුත් ඒක දාලා නෑ.

     

    ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි...

     ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි. 2025 මැයි මාසයේ දී ජනාධිපතිතුමා පෞද්ගලික ගුවන් යානාවකින් වියට්නාමයේ සිට ලංකාවට ආවා. ඒ යානාවට වියදම් කලේ කවුද කියන එකට ආණ්ඩුව විවිධ කතා කිව්වා. මුලින්ම වියට්නාම් ආණ්ඩුව කිව්වා. ඊලඟට එක්සත් ජාතින්ගේ වෙසක් උත්සව කමිටුව කිව්වා. ඊටත් පස්සේ වියට්නාම රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වා. ඒ ගමනට අනුග්‍රහය දැක්වූයේ කවුද කියන එක වගේම එහි වටිනාකමත් අද දක්වා අබිරහසක්. මී ලඟ වත්කම් ප්‍රකාශනයෙන් මේ අබිරහස් ගමන පිළිබඳ ඇත්ත දැන ගන්න අපට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    වත්කම් ප්‍රකාශනයේ සඳහන් නොකර තොරතුරු සැඟවීම බරපතල දඬුවම් ලැබෙන වරදක්. යම් වත්කමක් සඟවා තිබුණොත් ඒ වත්කම රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු සැඟවූවොත් රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබෙන්න පුළුවන්.

     

    හේවගේ ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම්...

     මේ වරද කරලා තිබෙන්නේ ජනාධිපති විතරක් නොවේ. නලින් හේවගේ මන්ත්‍රිතුමාගේ ගිණුමේ ලක්ෂ 23ක් තිබෙනවා. එතුමා කියන්නේ ඒවා දියණියගේ උත්සවයකට ලැබුණු තෑගි කියලා. එහෙම තෑගි ලැබුණා නම් රු50,000ට වැඩි තෑගි දුන්නේ කවුද කියන එක නලින් ඇමතිතුමා වත්කම් ප්‍රකාශනයේ සඳහන් කරන්න ඕනි. නමුත් එහෙම සඳහන් කරලා නෑ. රු50,000ට වැඩි තෑගි ලැබුණේ නැතිනම් උත්සවයටත් වියදම් කරලා ලක්ෂ 23ක් ඉතිරි වෙන්නත් බෑනෙ.

    මෙතුමා ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම් ආර්ථික අර්බූදය වෙලාවේ අයිඑම්එෆ් කොන්දේසිවලට යට වෙලා ණයක් ගත්තු වෙලාවේ හේවගේ ඇමතිතුමාගෙන් ණයක් ගන්න තිබුණා.

     

    යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම්

     යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා වගේ මිතුරන්ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම් ප්‍රකාශනයත් අපි බැලුවා. ලැබූ ත්‍යාග පිළිබඳ විස්තර කියන සටහනේ ඇමතිතුමා අත්අකුරින්ම ලියා තිබෙනවා “කිසිවක් නැත” කියලා. අඩුම ගණනේ හැමදාම හැමදේම දෙන ජයශාන්ත අයියාගේ නමවත් නෑ.

    2024 කියන්නේ මේ හැමෝම මැතිවරණ වලට ඉදිරිපත් වුණු වසර. ඒ නිසා ඕනෑම අපේක්ෂකයෙකුට තෑගි ලැබෙනවා. නමුත් කිසිවෙක් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග වේවා, ද්‍රව්‍යමය ත්‍යාග වේවා කිසිවක් සඳහන් කරලා නෑ. වත්කම් වල වටිනාකම දැවැන්ත ලෙස අවප්‍රමාණය කිරීම, ලැබුණු ත්‍යාග සැඟවීම, වත්කම් ප්‍රකාශනයේ තොරතුරු සැඟවීමට ජනධිපතිතුමාටත් සියළුම මැති ඇමතිවරුන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙන බව නම් පැහැදිලියි.

     

    මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ...

    ඒ වගේම සමහර මන්ත්‍රිවරු දැන් කියනවා. අපි මාසයකට ලක්ෂ 10 -15 හම්බ කරපු මිනිස්සු. වසන්ත ඇමතිතුමා පරම්පරාගත සල්ලිකාරයෙක් යනාදී කතා. නමුත් මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ. ඒ කියන්නේ ආදායම් බදු ගෙවලා නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී නඩු වැටෙන්න පුළුවන්.

    වසන්ත ඇමතිතුමාට තමන්ගේ ගම්බාර සීයාගෙන් ලැබුණු වත්කම් තමයි මේ තිබෙන්නේ කියලා අපි පිලිගනිමුකෝ. එහෙම නම් වත්කම් ප්‍රකාශනයේ තිබෙන ක්‍රිප්ටෝ කරන්සි තොගයත් සීයාගේ බූදලයේ තිබෙන්න ඕනි. දැනට ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ ලෙස සලකන්නේ 2009 දී බිට් කොයින් සොයා ගත් සතොෂි නකමොටො. නමුත් වහාම ඒ නම වෙනුවට වසන්ත ඇමතිතුමාගේ සීයා වන හේරත් මුදියන්සේගේ නම යොදන්න ඕනි. ලෝක ඉතිහාසය වෙනස් කරපු මෙවැනි ශ්‍රී ලාංකිකයෙකු අපට මග හැරුනේ කොහොමද කියන එක දැවෙන ප්‍රශ්නයක්.

    ලංකාවේ නීතිය අනුව ක්‍රිප්ටෝ කරන්සි ලඟ තබා ගැනීම වරදක් නොවේ. ඒ කියන්නේ යමක් විකුණලා ලැබෙන ගෙවීම ලෙස හෝ තෑග්ගක් ලෙස හෝ ක්‍රිප්ටෝ කරන්සි ලබා ගන්න පුළුවන්. නමුත් ණයවර පතක් හෝ මුදල් ගෙවීමක් කරලා ක්‍රිප්ටෝ කරන්සි මිල දී ගන්න බෑ. හේරත් මුදියන්සේගේ සීයා ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ නොවේ නම් වසන්ත ඇමතිතුමා ක්‍රිප්ටෝ කරන්සි අත්පත් කර ගැනීමත් නීති විරෝධි වෙනවා."

  • ජනාධිපතිතුමා '21, 21' යැයි උණ විකාරයෙන් දෙඩෙව්වා - උදය ගම්මන්පිල (වීඩියෝ)

    අපි සැවොම එකට වාඩි වී මාධ්‍ය හමුවක් තබා ඒයට සහභාගි නොවූ සජබ ඇතුළු අනෙකුත් පක්ෂ වෙත ආරාධනා කිරීම ම ආණ්ඩුව සලිත කරන්නට සමත් වූයේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • මාර්තු 31වන දාට අපි පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරනවා - උදය ගම්මන්පිල කියයි

    පසුගිය වසරේ මාර්තු 31වන දින දෙනියායේ පැවති රැස්වීමේ දී එම වසරේ අප්‍රේල් 21වන දිනට පෙර පාස්කු මහ මොළකරු හෙළි කරනවා යැයි පොරොන්දු වුව ද මේ වන විට වසරක් ගෙවී යැමට ආසන්නව තිබිය දී තවමත් පාස්කු මහ මොළකරු කවුදැයි හෙළි කරන්නට රජය අපොහොසත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • ව්‍යවස්ථා සභාව රැක ගැනීම විපක්ෂ නායකවරයා ගේ අතේ - උදය ගම්මන්පිල

    ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනා ගේ සේවාව තව දුරටත් ලබා ගැනීමට නම් විපක්ෂ නායක කළ යුත්තේ අගමැතිනිය ගේ යෝජනාවලට එකඟතාවය පළ නොකර සිටීම යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න සහ දිලිත් ජයවීරට නොතීසි නිකුත් කිරීම මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අසංක නවරත්න යන අයට මෙන්ම සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, මහින්ද පතිරණ සහ සුගීෂ්වර බණ්ඩාරයන අයට ලබන ජූලි මස 01 දා අධීකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ප්‍රතික්ෂේප කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න