පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශව වෙත නිදහස් කර ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් පසුගිය 20වන දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවල ද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස ගේ කාර්යභාරය බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවා ද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙස ද උපදෙස් දුන්නේ ය.
අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේ දී හැකිතාක් ජනතාව ගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ ලබා දෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාව ගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේ ය. ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබා ගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේ ය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන මහත්වරු සහ උතුරු හා නැගෙනහිර පළාත්වල මහජන නියෝජිතයින්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන අය ද ඉඩම් කොමසාරිස් ජනරාල්, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



ජනාධිපති මාධ්‍ය අංශය

